ඉන්දීය විදෙස් ඇමැතිනී සුෂ්මාට වකුගඩු දෙන්න ජනතාව පෙළ ගැසෙති



 


තමාගේ වකුගඩුවක් අක්‍රිය වී ඇති බවත්, තමා කාන්දු පෙරණ යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමත් සමඟ ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වර්ජ්ට වකුගඩු ලබා දීමට ඉන්දියාවෝ පෙළ ගැසී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ජනතා මනාපයෙන් බලයට පත් වී, එම ජනතාව නොසළකා හරිමින්, සැප ජීවිත ගත කරමින්, කෝටි ගණනින් මුදල් උපයන දේශපාලනඥයන් සිටිද්දී, අවංකවම ජනතාවගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍රවන දේශපාලනඥයන් ඉන්දියාවේ සිටින බවත් විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් එවැනි තැනැත්තියක බවත් ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.
64 හැවිරිදි සුෂ්මා ස්වරාජ් කලක පටන් දියවැඩියා රෝගියකු වී සිටින්නීය. ඇටයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
තමාගේ වකුගඩුවක් අක්‍රිය වී ඇති බවත් තමාට ගැළපෙන වකුගඩුවක් අවශ්‍ය බවත් සුෂ්මා ස්වරාජ් ට්විටර් පණිවුඩයක් හරහා ඉන්දියානුවන්ට දන්වා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දාය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානුවෝ බොහෝ දෙනකු ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ වකුගඩු පිරිනැමීමට කැමැත්ත පළ කර ඇත්තේ ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ගැන ද සඳහන් කරමිනි.
‘සුෂ්මා මහත්මිය. ඔබතුමිය රටට කරන සේවය අතිමහත්. රටට ඔබ තුමියගේ සේවය අවශ්‍යයි. මම කැමැතියි මගේ වකුගඩුව පරිත්‍යාග කරන්න. එය ඔබතුමියට ගැළපෙනවා නම්’ යැයි නිකිල් දක්ෂික් නමැති තරුණයා පවසා ඇත.
24 හැවිරිදි ඉන්ජිනේරුවකු වන කෙම්රාජ් ෂර්මා ද පවසා ඇත්තේ තමන් සුෂ්මා ස්වරාජ්ට වකුගඩුවක් පිරිනැමීමට කැමැත්තෙන් පසුවන බවය. ඇය ට්විටර් පණිවුඩයක් හරහා ඒ බව විදෙස් ඇමැතිනියට දන්වා ඇත. ‘මම හොඳ නිරෝගී කෙනෙක්. සුෂ්මා මහත්මිය ඔබතුමියට ගැළපෙනවා නම්, මං මගේ වකුගඩුව පරිත්‍යාග කරන්නම්’ යැයි එම පණිවුඩයේ සඳහන් වෙයි.
සුෂ්මා ස්වරාජ් හින්දු ජාතික කාන්තාවකි. ඉන්දියාවේ හින්දු මුස්ලිවරුන් අතරේ ඇතැම් අවස්ථාවලදී නොහොඳ නෝක්කඩු දකින්න ලැබේ. මුස්ලිම් ජාතික තරුණයෝ පිරිසක් ද ඇයට වකුගඩු පරිත්‍යාග කිරීමට කැමැති බව දන්වා ඇත.
ඒ අතරින් එක් තරුණයෙකු දැමූ ට්විටර් පණිවුඩයක මෙසේ සඳහන් වෙයි. ‘සුෂ්මා මහත්මියනි, මම මුස්ලිම් ජාතිකයෙක්. ඔබතුමියගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙක්. ඔබතුමිය අකමැති නැත්නම් මුස්ලිම් මම කැමතියි වකුගඩුවක් දෙන්න.’ සුෂ්මා මෙයට මෙසේ පිළිතුරක් සටහන් කර ඇත. ‘වකුගඩුවලට හින්දු හෝ මුස්ලිම් හෝ භේදයක් නැහැ. අපි හැමෝගේම ලේ රතු පාටයි.’
විදෙස් ඇමැතිනී සුෂ්මා ස්වරාජ් ඉන්දියානුවන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන තැනැත්තියකි. විදේශවල රැකියා කරන සහ ජීවත් වන ඉන්දියානුවන් අකරතැබ්බවලට මුහුණ දුන් අවස්ථා කිහිපයකදී ඇය කඩිනමින් ඒවාට මැදිහත් වී ඔවුන් ගලවා ගත් අවස්ථා එමටය. පසුගිය දිනෙක ඉන්දියාවේ විවාහයකට සූදානමින් සිටි පාකිස්තාන ජාතික තරුණියකට වහා වීසා ලබා දීමට ඇය පෞද්ගලිකව මැදිහත් වූවාය. ඒ, කිසි දෙනෙක හමුවී හෝ දැක නැති එම තරුණියගේ ආයාචනයකට කන් දෙමිනි.


RECOMMEND POSTS