ඇලෙප්පෝ නුවර ඉඩ්ලිඩ් පළාතේ සිරවුණු සිවිල් වැසියෝ මුදා ගනී



සිරියානු රජයේ හමුදා සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ අවි ගැටුම්වලට මැදිවී ඇලෙප්පෝ නුවර ඉඞ්ලිඞ් පළාතේ කොටුවී සිටි සිවිල් වැසියන් සියල්ලන්ම මේවනවිට ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑමට කටයුතු කළ බව ජගත් රතු කුරුස සංවිධානය නිවේදනය කළේය.

ගැටුම්වලට මැදි වී අසරණවුණු සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම පසුගිය සතියක කාලයක් තිස්සේ සිදුවිය. මෙහෙයුම ඇරැඹුණේ සිරියානු රජයේ හමුදා, රුසියාවේත්, ඉරානයේත් සහාය ඇතිව ඇලෙප්පෝ නුවර නැගෙනහිර පළාත් සියල්ල අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත් වීමෙන් පසුවය.

සිවිල් වැසියන් මුදා ගැනීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යෝජනාවක් ගෙන එන ලදී. ඒ අනුව, රතු කුරුස සංවිධානය සහ රතු අඩ සඳ සංවිධානය ඊට මැදිහත් විය.

සිවිල් වැසියන් ඇලෙප්පෝ නුවරින් ඉවත් කිරීමට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය විශේෂ බස් රථ සේවයක් ද යොදා තිබුණි. සිවිල් වැසියන් මුදා ගන්නා කාලයේ දී සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝවට ගුවනින් පහර දීම අත්හිටුවීය. රුසියාව ද එසේ කළේය.

තුවාල ලැබූ සිවිල් වැසියන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම ද සිදුවිය. සිරියානු රජය ඇලෙප්පෝව අල්ලා ගෙන තවමත් රැඳී සිටින අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට හිතවත් සෙසු සන්නද්ධ කල්ලිවලට දන්වා ඇත්තේ යටත් වන ලෙසය. ත්‍රස්තයෝ එය එකහෙළා ප්‍රතික්ෂේප කළහ.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වී වසර 6 ක් ගතවී ඇත. ඇලෙප්පෝ යනු සිරියාවේ විශාලතම මෙන්ම පැරැණිතම නගරයයි. සිරියානු විපක්ෂ කණ්ඩායම් අවි අතට ගෙන සටන් වැදුණේ ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමටය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් එම විපක්ෂ කණ්ඩායම් සමඟ එක්වී රජයට එරෙහිව සටන් වදී. 

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය තවමත් හිමිවන්නේ එම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවට පැමිණ ඇලෙප්පෝ නුවර අත්පත් කර ගත්තේ ඉරාකයේ සිටය. වස වසරකට පසු, ඇලෙප්පෝ නුවරින් කොටසක් මේ අයුරින් මුදා ගැනීමට බෂීර් අල් අසාද් ප්‍රමුඛ ඔහුගේ රජයේ හමුදාව සමත් වීම ඔහු ලැබූ විශාල ජයග්‍රහණයක් විය.


RECOMMEND POSTS