ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම්වරිය ඉල්ලා අස්වෙයි



ඇමෙරිකාවේ ‘හෝම්ලෑන්ඞ්’ හෙවත් ස්වදේශ ආරක්ෂක අංශ ලේකම්වරිය ලෙස ක්‍රිස්ට්ජෙන් නීල්සන් ඊයේ (8) සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

ක්‍රිස්ට්ජෙන් නීල්සන් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව දන්වමින් තමන්ට ලිපියක් එවූ බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා පවසා ඇත.

පුරප්පාඩු වන ස්වදේශ ආරක්ෂක අංශ ලේකම් ධුරයට, ඇමෙරිකා රේගු සහ දේශසීමා ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන කෙවින් මැක්ඇලිනාන් තාවකාලිකව පත් කිරීමට පියවර ගන්නා බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා ප්‍රාකාරය ඉදිකිරීම වෙනුවෙන් ට්‍රම්ප්ට සහාය දැක්වූ තැනැත්තියක ලෙස ක්‍රිස්ට්ජෙන් නීල්සන් ප්‍රකටය. එම දේශසීමා ප්‍රාකාරය ඉදිකිරීමේ කටයුතු මේ වනතුරු මෙහෙයවීම කළේ ද නීල්සන් සහ ඇගේ කණ්ඩායමය.

යෝජිත දේශසීමා ප්‍රාකාරයට සම්බන්ධයෙන් පමණක් නොව, ජනපති ට්‍රම්ප්ගේ ‘දළදඬු’ දේශසීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජනපති ට්‍රම්ප් සේම ක්‍රිස්ට්ජෙන් නීල්සන් ද බොහෝ දෙනාගේ දෝෂදර්ශණයට ලක් වූවාය.

‘මට ඉල්ලා අස්වෙන්න වෙලාව ඇවිල්ලා. මම ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ වෙද්දී පැවැති තත්ත්වයට වඩා අද ඇමෙරිකාව ආරක්ෂිතයි. ඇත්තටම ඒ ගැන මම සතුටු වෙනවා’ යැයි නීල්සන් මාධ්‍ය හමුවේ පවසා ඇත. කෙසේ නමුත් තමා ඉල්ලා අස්වන්නේ ඇයිදැයි යන්න ඇය මෙතෙක් අනාවරණය කර නැත.

හෝම්ලෑන්ඞ් ආරක්ෂක අංශ ලේකම්වරිය ලෙස කටයුතු කරන්න ලැබීම තම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් බවත්, තමන්ට සහාය දක්වමින් එකට වැඩ කළ සියලු නිලධාරීන්ට තමන් හදවතින්ම ස්තුතිවන්ත වන බවත් නීල්සන් වැඩිදුරටත් පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS