අවුරුදු 8 ක් හිටියා හොඳටම ඇති කියා නවසීලන්ත අගමැති අස්වෙයි
(රොයිටර්)
අට වසරක ධුර කාලය අවසන් කරමින්, තමා ධුරයෙන් සමුගන්නා බව නවසීලන්ත අගමැති ජෝන් කී අද (5) ප්‍රකාශ කළේය.
ජෝන් කී නවසීලන්ත වැසියන්ගේ ආදරයත් ගෞරවයත් දිනා ගත් අගමැතිවරයකු වෙයි. අට වසරක් අගමැති ධුරයේ කටයුතු කළ තමාට දැන් ඊට සමුදීමට කාලය පැමිණ ඇතැයි ජෝන් කී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. එය නවසීලන්ත වැසියන්ට අනපේක්ෂිත පුවතක් වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
“අට වසරක් මං අගමැති ධුරයේ කටයුතු කළා. ඒ හොඳටම ඇති. ධුරයෙන් සමුගන්න දැන් වෙලාව ඇවිල්ලා. මෙයයි මං ගන්නා අසීරුතම තීරණය. නවසීලන්ත අගමැති ලෙසත්, ජාතික පක්ෂයේ නායකයා ලෙසත් කටයුතු කරන්න ලැබීම මට විශාල ගෞරවයක්.” යැයි අගමැති කී කියා සිටියේය.
ජෝන් කීගේ සමුගැනීමත් සමඟ නියෝජ්‍ය අගමැති ධුරයේ කටයුතු කරන බිල් ඉංග්ලිෂ් එම අගමැති ධුරයට පත් වනු ඇතැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කර ඇත. ජෝන් කී මෙන්ම බිල් ඉංග්ලිෂ් ද නවසීලන්ත වැසියන්ගේ ප්‍රසාදය දිනා ගත් දේශපාලනඥයෙකි. කෙසේ නමුත් නවසීලන්ත ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ලබන සතියේ හමුවී නව අගමැතිවරයකු තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇතැයි පැවැසෙයි.
ජෝන් කී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2002 වසරේදීය. ජෝන් කී, නවසීලන්ත ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූයේ එයින් සිවු වසරකට පසුවය. ඒ වනවිට නවසීලන්තයේ පැවැතියේ කම්කරු පක්ෂ පාලනයකි. අගමැති ධුරය හෙබවූයේ හෙලන් ක්ලාර්ක්ය. 2008 වසරේ දී, ජෝන් කී, අගමැති ධුරයට පත්වූයේ හෙලන් ක්ලාක් පරාජය කරමිණි.
අගමැති ධුරයට පත් වුණු මුල් කාලයේ ජෝන් කෙරී ගැටලු රැසකට මුහුණ දුන් අතර ජනතා අප්‍රසාදයටත් පත් විය. 2011 වසරේ ක්රියිස්ට්චර්ච් නුවර කැළැඹූ භූමි කම්පාවෙන් 185 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විපතට පත්වූවන්ට සහන සැපැයීම නිසි ක්‍රමවේදයකට සිදුනොවුණු බවට අගමැති ජෝන් කීට දොස් අහන්න ද සිදුවිය. ඉන්පසු නවසීලන්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට ජෝන් කී සමත්වීමත් සමඟ ඔහු නවසීලන්ත වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූයේය.