අල්ලසක් ගත්තැයි රුසියන් මුදල් ඇමැති අත්අඩංගුවට
(රොයිටර්)
ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ගත්තැයි චෝදනා එල්ල වීමත් සමඟ රුසියාවේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමැතිවරයාට සිය ධුරය අහිමි වුණැයි රුසියන් පුවත් සේවා ඊයේ (16) වාර්තා කළේය.
ධුරය අහිමි වූයේ 60 හැවිරිදි ඇලෙක්සි උල්යුකාවේව්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයන්ගෙන් කෙනෙකි. චෝදනා එල්ල වීමත් සමඟ උල්යුකාවේව් සිය ධුරයෙන් නෙරපා දැමීම ජනපති පුටින් විසින් සිදු කරනු ලැබ ඇත.
ඇමැති ඇලෙක්සි උල්යුකාවේව් අල්ලස් මුදල් ලබා ගෙන ඇත්තේ රුසියාවේ අංක එකේ තෙල් සමාගම වන රොස්නෙට් සමාගමෙනි. එල්ලවුණු එම චෝදනා සම්බන්ධයෙන් උල්යුකාවේව් අත්අඩංගුවට ගැනිණ.
චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වනතුරු ඇලෙක්සි උල්යුකාවේව් නිවාස අඩස්සියට පත් කෙරනු ඇති අතර, එල්ල වුණු චෝදනාවලට වරදකරු වුවහොත් අවුරුදු 15 ක සිරදඬුවමක් හිමිවනු ඇත.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් ධුරයේ සිටිද්දී, ධුරයෙන් නෙරපා දමා ඇමැතිවරයකු මෙසේ අත්අඩංගුවට ගැනුණේ 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුවය.
කෙසේ නමුත් ඇලෙක්සි උල්යුකාවේව් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක අල්ලසක් ලබා ගෙන නොමැති බවය. තමාට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණවලදී ඊට සහාය දෙමින් තම හොඳ නම රැක ගැනීමට උත්සාහ කරන බව ද ඔහු වැඩි දුරටත් පවසා ඇත.