අගමැති මෝදිට ජාත්‍යන්තර සම්මානයක්



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විශේෂ සම්මානයක් හිමිවිය. ඒ, ඉන්දියාව පිරිසුදු තැනක් කිරීම සඳහා කැපවී අග්‍රාමාත්‍යවරයා ආරම්භ කළ ‘ස්වාච් භාරත්’ වැඩසටහන ඇගයීමට ලක් කරමිනි.

වැසිකිළි භාවිත නොකරන ඉන්දියානුවන්ට වැසිකිළි භාවිතය හුරු කිරීම අගමැති මෝදි ආරම්භ කළ ‘ස්වාච් භාරත්’ වැඩසටහනේ  ප්‍රධාන අරමුණය. මෝදි ‘ස්වාච් භාරත්’ වැඩසටහන ආරම්භ කළේ 2014 වසරේ මහත්මා ගාන්ධිතුමන්ට ගෞරවයක් ලෙසය. ඒ, මෝදි පළමු වරට ඉන්දියාවේ අගමැති ධුරයට පත්වුණු අවස්ථාවේදීය.

මෝදිට සම්මානය ප්‍රධාන කළේ මයික්‍රොසොෆ්ට් පදනමය. සෑම වසරකම නිශ්චිත ඉලක්කයක් සපුරා ජනතා සේවය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කරන ලොව කැපී පෙනෙන පුද්ගලයන්ට මයික්‍රොසොෆ්ට් පදනම ‘ගෝල්කීපර්ස් ග්ලෝබ් ගෝල්ස්’ සම්මානය ප්‍රදානය කරයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ද එම සම්මානයයි.

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, ඉන්දීය අගමැති මෝදිට ‘ගෝල්කීපර්ස් ග්ලෝබ් ගෝල්ස්’ සම්මානය ප්‍රදානය කළේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවය.

නිව්යෝක් නුවරදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS