‘අලුත් ජනපති ට්‍රම්ප්ට මට වගේම සහාය දෙන්න‘- ධවල මන්දිර කාර්ය මණ්ඩලයට ඔබාමා කියයි



 
 (රොයිටර්)
ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඉඩදී, ධවල මන්දිරයෙන් ඉවත්වී යෑමට සූදානම් වන වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (10) ධවල මන්දිර කාර්ය මණ්ඩලය අමතමින් ඔවුන් සැමට ස්තුති කළේය. 
එම අවස්ථාවේ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා හැඟීම්බරව කඳුළු සළන්න වූහ. කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අමතමින්, ඔබාමා එම දේශනය පැවැත්වූයේ ධවල මන්දිරයේ රෝසමල් ගෙවත්තේ සිටය.
‘ඔබ සැවොම දැන් ට්‍රම්ප් වෙනුවෙන් කැපවී සේවය කරන්න ඕනෑ. ට්‍රම්ප් තමා අපේ අලුත් ජනාධිපති. පක්ෂ භේදයකින් තොරව දැන් අපි එක්සත්ව කටයුතු කළ යුතුයි.’ යැයි ඔබාමා ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ 150 ක පිරිස අමතමින් පැවැසුවේය.
එම අවස්ථාවට ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීහු ද සහභාගී වූහ. ‘මට වැටහෙනවා. අපේ පක්ෂය පැරැදුණා. ඒ ගැන දුකයි. ඒත් අප දැන් ඉදිරියට යා යුතු වෙනවා. මට විශ්වාසයි ඔබ සැම මට දුන් ආකාරයටම නව ජනපතිවරයා වන ඩොනල්ඞ් ට්‍රම්ප්ට සහයෝගය දේවි’ යැයි ඔබාමා වැඩි දුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට උප ජනාධිපති ජෝ බයිඩන් ද සහභාගී වූයේය. ඔබාමා ධවල මන්දිර කාර්ය මණ්ඩලය අමතද්දී, බයිඩන් සිටියේ ඔබාමා අසලය.
 

RECOMMEND POSTS