හිලරිගේ ‘වැරදි’වලට ඔබාමාගෙන් ‘ජනපති සමාව’



 (රොයිටර්)

ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඉඩදී, ජනපති ධුරයෙන් සමුගැනීමට පෙර බැරැක් ඔබාමා, සිය ජනපති බලතල පාවිච්චි කරමින්, හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන්, ඇයට ‘සමාව දීමක්’ සිදු කරනු ඇතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඔබාමාගේ පළමු ධුර කාලයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ හිලරි ක්ලින්ටන්ය. ඊමේල් අවභාවිතයක් සම්බන්ධයෙන් සහ ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් හිලරිට චෝදනා එල්ල විය. සෙනෙට් කමිටුවක් හමුවේ විශේෂ පරීක්ෂණ පවා පැවැත්විණි.
එල්ලවුණු එම චෝදනා සම්බන්ධයෙන්, ‘හිලරි කිසිදු වරදක් සිදුකර නොමැති බව’ එම සෙනෙට් කමිටුව සහ එෆ්.බී.අයි. කාර්යාංශය පසුව පැවැසීය. කෙසේ නමුත් හිලරි මෙවර ජනපතිවරණයෙන් පරාජයට පත්වූයේ එම චෝදනා හේතුවෙන් බව ජනපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනී ගියේය.
ට්‍රම්ප් ජනපතිවරණ විවාදවලදී දිගින් දිගටම කියා සිටියේ තමා ජනපති වුවහොත් හිලරිගේ චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සහ නඩු විභාගයක් පවත්වා ඇය සිරභාරයට පත් කරන බවය.
ජනපතිවරණයේ දී ඔබාමාගේ සහාය හිමිවූයේ හිලරිටය. අවසන් රැළියේ දී පවා ඔබාමා සැමගෙන් ඉල්ලා සිටියේ තමා විශ්වාස කර හිලරිට ඡන්දය ලබා දෙන ලෙසටය.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔබාමාගෙන් ඉල්ලා ඇත්තේ ට්‍රම්ප්ගෙන් හිලරිට අනතුරක් වීමට ඉඩ නොදී ජනපති බලතල භාවිතා කරමින් ඇයට එරෙහිව නීති මගින් පියවරක් ගැනීමට නොහැකි අයුරින් ඇයට ‘ජනපති සමාවක්’ ලබා දීමට පියවර ගන්නා ලෙසටය.

RECOMMEND POSTS