ට්‍රම්ප්ගේ ජය පිළිගන්න බෑ: ඇමෙරිකාවේ නගර රැසක විරෝධතා



 

(රොයිටර්)

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ ජය පිළිගැනීමට නොහැකි බව පවසමින් ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක අද (10) විරෝධතා රැලි රැසක් පැවැත්විණි.
ප්‍රධාන විරෝධතා රැලිය පැවැත්වූණේ නිව්යෝක් නුවර ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘ට්‍රම්ප් ටවර්’ ගොඩනැගිල්ල ඉදිරිපිටය. ඊට අමතරව ට්‍රම්ප්ට අයත් හෝටල් සහ සෙසු ගොඩනැගිලි ද විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබූහ.
විශේෂ ආරක්ෂාවක් යෙදී තිබුණු නිසා ට්‍රම්ප් සිටි හෝටලයට පිවිසීමට විරෝධතාකරුවන්ට නොහැකි විය. විරෝධතාකරුවෝ ට්‍රම්ප්ගේ පෙනුම ඇතිව නිර්මාණය කළ පඹයකු සහ ඇමෙරිකන් ධජයක් ගිනි තැබූහ. එහිදී කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවෝ 30 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. 
ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ නිව්යෝක් සිට සියැටල් දක්වා විරෝධතා පැවැත්වුණු බවය. එම විරෝධතාවලට සහභාගී වූයේ පරාජයට පත්වුණු හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් යැයි ද පැවැසෙයි. එම විරෝධතා රැලියට සුපිරි ඇමෙරිකන් ගායිකා මැඩෝනා සහ ෂෙයාර් ද සහභාගී වූහ. මොවුහු දෙදෙනාම හිලරි ක්ලින්ටන්ට සහාය දැක්වූ අය වෙති.
ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීම ඓතිහාසික සිදුවීමක් සේම, මේ අයුරින් ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වීම ද ඓතිහාසික සිදුවීමක් බව එරට මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර, ජනපතිවරණය පිළිගැනීමට නොහැකි යැයි පවසමින්, පරාජයට පත් වුණු පක්ෂය විරෝධතා පවත්වා නැත.
මීට අමතරව ධවල මන්දිරය ඉදිරියේ හිලරිගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරේ ගුටි බැට හුවමාරු සිදුවුණු බව ද වාර්තා විය.
මේ අතර ජනපතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසු හිලරි ක්ලින්ටන් සිය පක්ෂ ආධාරකරුවන් අමතමින් පළමුවෙන් කළේ ‘මට සමාවෙන්න’ යැයි කීමය. ‘මං දන්නවා අප බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය අපට ලැබුණේ නැහැ. ඒත් අප හොඳ සටනක් දුන්නා’ යැයි ඇය වැඩි දුරටක් කියා සිටියාය.
තමා පරාජය වුණු බව දැනගත් සැණින් ඡන්ද ප්‍රතිඵල සියල්ල නිකුත් වීමට පෙර, හිලරි ජයග්‍රහණය කළ ට්‍රම්ප්ට සුබ පැතුවාය. එක්සත් ඇමෙරිකාවක් කරා රට මෙහෙයවීමට ධෛර්යය ලැබේවා යැයි ද ඇය එම අවස්ථාවේදී ප්‍රාර්ථනා කළාය.
මේ අතර ඇමෙරිකා ජනපති ඔබාමා විරෝධතරුවන් අමතමින් පවසා ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය පිළිගන්නා ලෙසත් එක්සත්ව ඉදිරියට යෑමට කටයුතු කළ යුතු බවත්ය.

RECOMMEND POSTS