ජනපතිවරණය මැද්දේ ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බියක්



 
(රොයිටර්/අල් ජසීරා)
ඇමෙරිකන් ජනාධිපතිවරණය කඩාකප්පල් කරන බවට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ අනතුරු ඇඟවීමක් මුල්කොට ගනිමින් රටේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ ආරක්ෂාව තර කිරීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ කටයුතු කළේය.
පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් නිවාස සහ ගොඩනැගිලි සෝදිසි මේවනවිටත් කෙරෙමින් අතර, මුස්ලිම් සම්භවයක් සහිත සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද එෆ්.බී.අයි. පරීක්ෂකයෝ කටයුතු කළහ.
අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පසුගිය 7 වැනිදා ඇමෙරිකන් මුස්ලිම් වැසියන්ට තර්ජනය කර තිබුණේ ඡන්දය දීමෙන් වළකින ලෙසය. ත්‍රස්ත සංවිධානය එම අනතුරු ඇඟවීම කළේ ඔවුන්ට හිතවත් රූපවාහිනී නාළිකාවක ආධාරයෙනි.
ඇමෙරිකානු මැතිවරණ ක්‍රමයට අනුව, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකානුවන්ට අවස්ථාව හිමිවෙයි. ඒ අනුව, ඇමෙරිකානුවන් මිලියන 42 ක් ඡන්ද දිනයට පෙර ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ද වාර්තා විය.
ෆ්ලොරීඩා, උතුරු කැරොලයිනා සහ නෙවාඩා යන ජනපදවල පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන්ය. නව ජනපතිවරයා කවුරුදැයි නිර්ණය කිරීමේ තීරණාත්මක ජනපද 11 අතරින්, ඉදිරියෙන්ම ඇති ජනපද 6 අතරට මෙම ජනපද ද ඇතුළත් වෙයි.

RECOMMEND POSTS