ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනියි



ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඔහු ඡන්ද මණ්ඩල 276ක් දිනාගත් අතර ප්‍රතිවාදීයා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයගත හැකිවූයේ ඡන්ද මණ්ඩල 218ක් පමණි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ජෝන් ට්‍රම්ප් තේරී පත් වූ බව ඒ.පී පුවත් සේවය උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

දේපළ වෙළෙඳාම්, රූපවාහිනි තාරකාවක් වූ හැත්තෑ වියේ පසුවන ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා හමුදාවේ හා එරට රාජ්‍ය තනතුරක් නොදරමින් ජනාධිපතිධුරයට පත්වූ පළමුවැන්නාය. එමෙන්ම ඇමෙරිකා ජනාධිපතිධුරයට පත්වන වයස්ගත ම පුද්ගලයා යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රොනල්ඞ් රේගන්ය. ජනාධිපතිධුරයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 69ක් හා දින 349ක් විය. ජනාධිපතිධුරයේ සිටි වයස්ගතම පුද්ගලයා වනුයේද රොනල්ඞ් රේගන්ය. ජනාධිපතිධුරයේ සිටින විට ඔහුගේ වයස අවුරුදු 77ක් විය. 
ඒ අනුව 57 හැවිරිදි වියේ පසුවන මයික් පෙන්ස් ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇත. ඔහු දිගු කාලයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර මේ වනවිට ඉන්දියානා ප්‍රාන්තයේ රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි. 
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පත්වීමත් සමඟ ආර්ථික හා දේශපාලනය ප්‍රතිවිපාක රැසක් ඇතිවනු ඇතැයි විශ්ලේෂකයෝ දැනටමත් අනාවැකි පළ කර ඇත. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී හිලරි ක්ලින්ටන් ජයගනු ඇතැයි අපේක්ෂාවෙන් කොටස් වෙළෙඳපොළවල් රැසක් පසුගිය දින කිහිපයේදී ඉහළ ගියේය.

RECOMMEND POSTS