ඇමෙරිකන් ජනාධිපතිවරණය ජය තීරණය වෙන්නේ ජනපද 11 ක ‘දෝලන’ ඡන්දවලින්ලු
(රොයිටර්/අල් ජසීරා)
ජනපද 50 කින් සමන්විත ඇමෙරිකාවේ, මීළඟ ජනපතිවරයා තීරණය කරන්නේ ජනපද 11 ක ‘දෝලන’ ඡන්දයෙන් යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ඊයේ (8) උදේ 7 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස) ආරම්භ විය. ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න සෘජුව තීරණය කරන මෙම ජනපද 11 ඇමෙරිකානුවන් හඳුන්වන්නේ ‘ස්විංග් ස්ටේට්ස්’ (දෝලන ජනපද) යනුවෙනි.
සෙසු ජනපද 2000 වසරේ පටන් සාම්ප්‍රදායිකව, මෙන්ම ඓතිහාසිකව ද ප්‍රධාන පක්ෂ දෙක වන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ලෙස බෙදී පවතී. එම නිසා රිපබ්ලිකන් ජනපද කවදාවත් පක්ෂ මාරු කර ඩිමොක්‍රටික් වන්නේ හෝ, ඩිමොක්‍රටික් පක්ෂ බහුතරයක් සිටින ජනපද රිපබ්ලිකන් වන්නේ හෝ නැත.
එහෙයින්, ඇමෙරිකාවේ 45 වැනි ජනපතිවරයා කවුරුදැයි තීරණය කරන්නේ, දෝලන ජනපද 11 ඡන්දවලිනි.
මෙම ජනද 11 පසුගිය කාලයේ ද එක්කෝ ඩිමොක්‍රටික් පක්ෂයට හෝ නැතහොත් රිපබ්ලිකන් පක්ෂයට හෝ ඡන්දය පළ කළේය. එහෙයින් එම ජනපදවල වැසියන්ගේ තීරණය කුමක්වේවිදැයි කල්තියා කිව නොහැකිය.
මෙම ජනපද 11 විවිධ ජනවර්ගවල, විවිධ වයස් කාණ්ඩවල, විවිධ ආර්ථික තත්වයේ සහ විවිධ තරාතිරම්වල ඇමෙරිකන් පුරවැසියන්ගෙන් සමන්විතය.
මෙම 2016 වසරේ තීරණාත්මක සාධකයක් බවට පත් වී ඇති එම ජනපද 11 වන්නේ ඔහායෝ, කොලරාඩෝ, ෆ්ලොරීඩා, අයෝවා, මිචිගන්, නෙවාඩා, නිව් හෙම්ස්ෆයර්, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, වර්ජීනියා සහ විස්කොන්සින්ය.
මීට පෙර පැවැති ජනපතිවරණ රැළිවලදී මෙන්ම මෙවරත් ඩිමොක්‍රටික් පාක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම් හැකිතාක් ඔවුන්ගේ ඡන්ද රැළි පැවැත්වූයේ මෙම ජනපදවලය. මෙම ජනපදවල වැසියන්ගේ සිත් දිනා ගැනීමට අපේක්ෂකයෝ දෙදෙනාම උත්සාහ කළහ.
1964 වසරේ සිට පැවැති සෑම ජනපතිවරණයකදීම අවසන් ජය සලකුණ තැබීමට සමත් වූ ජනපදය ලෙස සැලකෙන්කේ ඔහායෝ ජනපදයයි. ෆ්ලොරීඩා ජනපදය ද ඒ හා සමානව වැදගත්ය. ඉලෙක්ටෝරල් ඡන්ද 29 ක් ෆ්ලොරීඩාව සතුව පවතී.