අවසන් මොහොතේ හිලරිට වාසියක්: අපරාධ චෝදනාවලින් නිදහස්



 

 

 (රොයිටර්)
ඇමෙරිකා රාජ්‍ය තොරතුරු හැසිරවීම සම්බන්ධයෙන් ජනපති ධුරයට ඉදිරිපත්වී සිටින ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නීති උල්ලංඝනයක් සිදුකර නැතැයි, ඇගේ ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කළ එෆ්.බී.අයි. කාර්්‍යාංශය  තහවුරු කළේය.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේ එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කොමීය. අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් කියා සිටියේ එම ඊ මේල් අවභාවිතා සිද්ධියට අදාළ චෝදනා සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල නොවනු ඇති බවය. 
2008 වසරේ බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ලෙස එම ධුරයට පත්වෙද්දී, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඔහුට අභියෝග කළේ හිලරි ක්ලින්ටන්ය. 
ජනපති ධුරයට පත්වීමෙන් පසු ඔබාමා සහ ඔහුගේ රජය ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය හිලරි ක්ලින්ටන්ට පිරිනැමුවේය.
ඔබාමාගේ පළමු ධුර කාලයේ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී, රජයේ රහස් ඊ මේල් තම පෞද්ගලික ඊ මේල් ලිපිනයට ගෙන්වා ගත්තාය. ඒ බව පසුව අනාවරණය වූයේ පරිගණක දත්ත සොරකු (හැකර්වරයකු) හිලරිගේ පෞද්ගලික ඊ මේල් ලිපිනයට හොරෙන් ඇතුළු වී එම රජයේ රහස් ලබා ගෙන ඒවා ප්‍රසිද්ධියට පත් කළ නිසාය.
හිලරි ක්ලින්ටන් කළ මෙම ඊ මේල් අවභාවිතාව ජනපතිවරණ සටනේ දී ඇයට ලොකු අවාසියක් විය. ඩොනල්ට් ට්‍රම්ප්ට ද විවිධ චෝදනා එල්ල වී ඇත. බදු වංචා කළ බවටත්, කාන්තාවන්ට නිගරු කරන ලිංගික හිංසනයන් සිදු කරන අයකු බවටත් ට්‍රම්ප්ට දොස් අහන්න සිදු වී ඇත. කෙසේ නමුත් ඊ මේල් අවභාවිතයෙන් හිලරි ඇමෙරිකාවට ද්‍රෝහියකු වූයේ යැයි ඇමෙරිකානුවන් අතරේ කතාබහට ලක්විය.
ජනපතිවරණයට ඔන්න මෙන්න තිබියදී ඇමෙරිකානු එෆ්.බී.අයි. තම ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම හිතාමතා කළ එක්ක බවටත්, එය එෆ්.බී.අයි. කාර්්‍යාංශයේ දෙබිඩි ප්‍රතිපත්තියක් බවටත් අවස්ථා කිහිපයකදී හිලරි චෝදනා කර තිබුණි.
ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී හිලරිගේ ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් යළිත් වරක් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු යැයි හිලරිගේ මැතිවරණ කටයුතු සංවිධායක රොබී මූක් ද පවසා තිබුණි.
ඊ මේල් අවභාවිතය එෆ්.බී.අයි. කාර්යාංශය පරීක්ෂණ පවත්වද්දී හිලරි ක්ලින්ටන්ගේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් අඩුවිය. ඒ අනුව, ඉදිරියට පැමිණීමට ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත් වූයේය. 
ඇමෙරිකා ජනාධිපතිවරණය අද (8) (ඇමෙරිකාවේ වේලාවෙන් හෙට 9 වැනිදා) පැවැත්වෙයි. පෙරේදා (6) එෆ්.බී.අයි. ප්‍රධානියා හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසු ඇගේ ජනප්‍රියත්වය යළි ඉහළ ගොස් ඇත. 
ජනපතිවරණයේ ජය කාටදැයි අනාවැකි පළ කරන වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. පුවත් සේවා සිදුකළ නවතම ජනමත සමීක්ෂණයට හිලරි ක්ලින්ටන් සියයට 47 ක් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට 43 ක් ද හිමි කර ගනු ඇතැයි පැවැසෙයි.
මේ අතර ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමට පැවැත්වෙන මෙම ජනපතිවරණය, ඉතිහාසයේ අන් කවදාකටවත් වඩා ඉතා පහළ මට්ටමකට පත් වී ඇති බවත්, ඡන්දය දිය යුත්තේ කාටදැයි යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනතාව තුළ ‘කුහුලක්’ ඇති කිරීමට එය සමත් වී ඇති බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා තිබේ.
රාජ්‍ය ගේකම් කේරී මේ බව පවසා ඇත්තේ පසුගිය දා බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී, විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අමතමින් කළ දේශනයකදී යැයි විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත.
ජෝන් කෙරී ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ‘අවංක’ අදහස් දැක්වූයේ යැයි මාධ්‍ය ඒ ගැන පුවත් වාර්තා කළේය. ‘මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනා ගැන ඇමෙරිකානුවන් තුළ දැන් ‘සැකයක්’ මතු වී තිබෙනවා. ඒ නිසා කාට ඡන්දය දිය යුතුද යන්න ප්‍රශ්නයක්. ඡන්දය දෙන්න ඕනෑ හිලරිට ද ට්‍රම්ප්ට ද යන්න මටත් ප්‍රශ්නාර්ථයක්’ යැයි ජෝන් කෙරී එම අවස්ථාවේදී පැහැදිලි කළේය.
ජෝන් කෙරී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයට පත් වූයේ ඔබාමාගේ දෙවැනි ධුර කාලයේදීය. ඒ, හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධුරයෙන් සමු ගැනීමෙන් පසුවය.
‘2004 වසරේදී මමත් ජනපති ධුර අපේක්ෂකයකු ලෙස තරග වැදුණා. එදා අප විවාද කළේ දෙස් විදෙස් ප්‍රතිපත්ති ගැන. එකිනෙකාට පෞද්ගලික වශයෙන් ‘මඩ ගසා ගැනීම්’ කළේ නැහැ. ජයග්‍රහණය කළ අය දිහාත් පරාජය වුණු අපේක්ෂකයන් දිහාත් ජනතාව බැලුවේ ගෞරවයෙන්. ඒත් මෙවර ජනපතිවරණයේදී එවැනි දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැඩි දුරටත් කියා සිටී.
තමාගේ සහාය හිලරිට හිමිවන බව ඔබාමා තරයේ කියා සිටී. ජනපතිවරණයට පෙර පැවැත්වෙන හිලරිගේ අවසන් ජන රැලියට ද ඔබාමා සහභාගී වීමට නියමිතව ඇත. මීට දින කිහිපයකට පෙර, කාටත් කලින් ඔබාමා සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඇමෙරිකාවේ ඡන්ද ක්‍රමයට අනුව වේලාසනින් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඔබාමා ඡන්දය ප්‍රකාශ කරන්න ඇත්තේ හිලරි ක්ලින්ටන්ට බව රහසක් නොවේ යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
රිපබ්ලිකන් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී පවසා ඇත්තේ මෙවර ජනපතිවරණයේදී ‘ඡන්ද මගඩි’ සිදුවිය හැකි බවය. අවසන් ඡන්ද ප්‍රතිඵලය හිලරි ක්ලින්ටන්ට වාසි වන අයුරින් වෙනස් වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත. එසේ වුවහොත් තමන් එම ප්‍රතිඵලය පිළිගන්නවා නැද්ද යන්න සම්බන්ධයෙන් සිතා බැලිය යුතු යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.

RECOMMEND POSTS