ශ්රී ලන්කන් ගුවන් සේවා යළි ඕමානයට
කොළඹ සහ ඕමානයේ මස්කට් නුවර අතර නව ගුවන් ගමන් වාර පහක් ආරම්භ කිරීමට ශ්රී ලන්කන් ගුවන්සේවය පියවර ගෙන ඇත.
ඕමානයට පැමිණෙන විදෙස් ගුවන්සේවාවන් අතරින් පැරණිතම ගුවන්සේවාවක් වන ශ්රීලන්කන් ගුවන් සේවයේ මෙම නව සේවාව මේ මස 30 වැනිදා සිට ආරම්භවන බව ඕමානයේ ශ්රී ලන්කන් සමාගමේ මස්කට් නුවර ශාඛා කළමනාකාර දීපාල් පල්ලේගංගොඩ මහතා සදහන් කරයි.
බදාදා සහ සිකුරාදා හැර සතියේ අනෙක් දිනයන් හි කොළඹ හා මස්කට් නුවර අතර ගුවන් ගමන් වාර පැවැත්වෙන අතර ඒ සදහා ශ්රී ලන්කන් ගුවන්සේවය සතු ඒ 320 සහ ඒ 321 වර්ගයේ ගුවන් යානා යෙදෙවෙන බවද ශ්රී ලන්කන් ගුවන් සමාගම පවසයි.එම දිනයන් හි මස්කට් සිට රාත්රී 10.30ට ඇරෙඹන මෙම ගුවන්ගමන් වාරය පසුදින අලුයම 4.20ට කොළඹට ළගාවේ.කොළඹින් සවස 6.45ට ගමන් අරඹා එදින රාත්රී 9.20ට මස්කට් වෙත ළගා වේ.
මෙම ගුවන්ගමන් වාර පහ ලබන දෙසැම්බර් මාසයේදී ගුවන් ගමන් වාර හතක් දක්වා වැඩිකිරීමටද ශ්රීලන්කන් ගුවන් සමාගම බලාපොරොත්තු වන බව ද ඕමානයේ ශ්රී ලන්කන් ගුවන්සේවා සමාගම් මස්කට් නුවර ශාඛා කළමනාකාරවරයා සදහන් කර සිටී.
ඕමානයේ සිටි මෙරටට පැමිණෙන සංචාරකයින් හා මැදපෙරදිග සාංචාරක වෙළදපොළ දියුණු කිරීමේ අරමුණෙන් මෙම නව ගුවන්ගමන් වාර ආරම්භවන අතර වසරකට පසුව මෙම ගුවන්ගමන් වාර යළි ඇරඹෙන බවද එම ගුවන් සමාගම කියා සිටී.ඉකුත් වසරේදී ඕමාන ජාතිකයින් 14,000ක් මෙරට සංචාරය සදහා පැමිණ තිබේ.
මෙම ගුවන්ගමන් වාර වල වැඩිදුර තොරතුරු ලබා ගැනීම හා ගුවන් ටිකට්පත් ඇනවුම් කිරීම සදහා අරාබි භාෂාවෙන් වෙබ් අඩවියක්ද මේවන ශ්රීලන්කන් ගුවන්සේවා සමාගම විසින් දියත් කරනු ලැබ ඇත.මේ අතර මිහින් ලංකා ගුවන් සමාගමේ කටයුතු මේ මස අග සිට අත්හිටවූවද එම සමාගමෙන් වෙන්කරවා ගත් ගුවන් ටිකට්පත් ශ්රීලන්කන් ගුවන් සමාගම හරහා ලබා ගත හැකිය.
( තිළිණි ද සිල්වා )
ටයිම්ස් ඔෆ් ඕමාන් ඇසුරෙනි......