මෝදිට තර්ජනාත්මක පණිවිඩයක් ගෙනා පරෙවියෙක් අල්ලලා



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට තර්ජනය කෙරෙන පණිවිඩයක් රැගත් පරෙවියකු අල්ලා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්වී ඇත. 

මෙම පරෙවිය පාකිස්තානයෙන් පැමිණෙන්නට ඇතැයි ද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි. ඉන්දීය දේශ සීමා ආරක්ෂකයන් විසින් මෙම පරෙවියා අල්ලාගෙන ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘බාමියල්’ යනුවෙන් හැඳින්වෙන කොටසේදීය. 

“අගමැති මෝදි, 1971 (ඉන්දු - පාකිස්තාන) යුද සමයේ සිටි අය ලෙස අප පිළිගන්නේ නැහැ. අද සෑම දරුවෙක්ම ඉන්දියාවට විරුද්ධව සටන් කිරීමට සූදානම්” යනුවෙන් උර්දු බසින් එම පණිවිඩයේ සඳහන්ව තිබී ඇත. 

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ඉන්දීය පොලිස් පරීක්ෂකවරයකු වන රමේෂ් කුමාර් පැවැසීය.

මේ වනවිටත් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින කොටසේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළු 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පසුගිය බ්‍රහස්පතින්දා පාකිස්තාන සෙබළු දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය. 

 


RECOMMEND POSTS