අහිමි පුරුක හමුවෙලා
ඩයිනසෝරයන් යනු උරග විශේෂයකි. නමුත්, ඇතැම් ඩයිනසෝරයන් වඩාත් සමීප පක්ෂීන්ටය; එනම් කුරුල්ලන්ටය. ඩයිනසෝරයන් මිහිමත රජ කළේ අවුරුදු මිලියන 160 කට පෙරය. එකිනෙකට වෙනස් පරිසර පද්ධතිවලට අනුව, දිවි රැක ගැනිමේ අරමුණින්, ඩයිනසෝරයන් විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ වර්ගවලින් පරිණාමය වූ බව විද්‍යාඥයන්ගේ අදහසය. සාමාන්‍ය උරගයන්ගෙන් ඩයිනසෝරයන් පරිණාමය වූ බව නිවැරදිව කීමට, පොසිල විද්‍යාඥයෝ දැන් සමත් වී සිටිති. ඒ, උරගයන් සහ ඩයිනසෝරයන් අතරේ අහිමි පුරුක හමුවීමත් සමඟය.
මේ අහිමි පුරුක වන්නේ අලුතින්ම හඳුනාගත් උරගයෙකි. මුල්ම ඩයිනසෝරයන් එසේත් නැතිනම් ඩයිනසෝරයන්ගේ ආදීතමයන් බිහිවන්නට ඇත්තේ මෙම උරගයාගෙන් යැයි විද්‍යාඥයෝ කියති. විද්‍යාඥයන් සතුව ඇති මෙම නව සත්ව පොසිලය වසර මිලියන 237 ක් පැරැණිය. මේ සත්ව පොසිලය හමුවී ඇත්තේ බ්‍රසීලයෙනි. ගාත්රා හතරකින් සමන්විත මේ සත්වයා ප්‍රමාණයෙන් කුඩා බල්ලකු තරම් වෙතැයි පැවැසෙයි. පොසිල විද්‍යාඥයන් මෙම නව උරගයා නම් කර ඇත්තේ, ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් Gondwanax paraisensis යනුවෙනි.
ඩයිනසෝරයන්ගේ මුල් මුතුන් මිත්තන් අතර පැවති පොදු ලක්ෂණ කීපයක් මෙම නව උරගයාගෙන්, දකින්නට ලැබුණු බව පොසිල අස්ථි අධ්‍යයනයේදී පැහැදිලි වූ බව පොසිල විද්‍යාඥ රොඩ්රිගෝ ටෙම්ප් මියුලර් පැහැදිලි කරයි. ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් ගැන ලොවට මුලින් ම අනාවරණය කළේ ඔහුය. ‘ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් සතු ලක්ෂණ මින් පෙර කිසිදු පොසිලයකින් දකින්න ලැබී නැත. පරිණාමීය ඉතිහාසයේ හිඩැස් පිරවීමට, උරගයන්ගෙන් ඩයිනසෝරයන් වෙනස් වූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගන්න අපට පුළුවනි’ යැයි මියුලර් පවසයි.
ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් පොසිලය ගැන අද විද්‍යාඥයන් මෙසේ කතා කළත්, මෙම පොසිලය මුලින්ම හමුවී ඇත්තේ 2014 දීය. මෙම පොසිලය මියුලර් සහ ඔහුගේ කණ්ඩායම අතට පත් වී ඇත්තේ 2021 දීය. 2014 දී මෙම පොසිලය මුලින්ම සොයා ගෙන ඇත්තේ බ්‍රසීලයේ පැරාසියෝ දෝ සුල් නමැති කුඩා නගරයේ සාමාන්‍ය වෛද්‍යවරයකු විසිනි. පසුව ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් පොසිල අස්ථි අධ්‍යයනය 2021 දී මියුලර් සහ සැන්ටා මරියා ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ ඔහුගේ පර්යේෂක කණ්ඩායම විසින් ආරම්භ කරනු ලැබීය.
ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස්, ත්‍රියාසික යුගයේ විසූ බව කාල නිර්ණය අනුව තහවුරු කර ගැනුණි. ක්ෂීරපායීන්, කිඹුලන්, කැස්බෑවන් සහ ගෙම්බන් පළමු වරට බිහිවුණු බව පැවැසෙන්නේ මෙම ත්‍රියාසික යුගයේදීය. මෙම යුගයේ දී අනෙක් සතුන් බිහිවෙද්දී, මෙම ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් උරගයා, දිවි රැක ගැනීමේ තරගයකට මුහුණ දුන්නේය. ඒ අනුව එදා ඌට වෙනස් වීම් රැසකට භාජනය වීමට සිදු විය. එදා මෙම සත්වයා ජීවත් වූ ප්‍රදේශය පැන්ජියා Pangea නමැති යෝධ මහද්වීපයට අයත් විය. මිහිමත අලුතින් බිහිවුණු සියලුම ජීවීන්ගේ නිවහන වූයේ පැන්ජියා නමැති මේ යෝධ මහද්වීපයයි. අද අපට දකින්න ලැබෙනවාට වඩා, උණුසුම් දේශගුණයක් මෙම මහද්වීපයේ පැවැති අතර, එය ඝන රළු වනාන්තර පද්ධතිවලින් සමන්විත විය.
පොසිල විද්‍යාඥයන්ට අනුව, ඩයිනසෝරයන්ගේ මුල්ම ඩයිනසෝරයා ලෙස සැලකෙන්නේ සයිල්සෝරිඩ්ස් Silesaurids ය. සයිල්සෝරිඩ්ස් ඩයිනසෝරයන්ගේ විශේෂ ලක්ෂණ වන්නේ කලවා අස්ථියේ ඉහළින් විශේෂ අස්ථියක් සහ උකුල් අස්ථියට සම්බන්ධ කලවා අස්ථියේ පැතැලි මතුපිටක් තිබීමය. ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස්, සයිල්සෝරිඩ්ස් ඩයිනසෝරයාගේ ආදීතමයාය. විද්‍යාඥයන් මේ බව පැහැදිලි කරන්නේ, ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස්ගේත්, සයිල්සෝරිඩ්ස් ඩයිනසෝරයාගේත් අස්ථි සන්සන්දනය කර බලමිනි.
ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් පොසිලය අධ්‍යයනය කරද්දී, ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස්ගේ කොඳු ඇට පෙළ උකුලට සම්බන්ධ කරන අස්ථිය වෙනස්ය. මෙම අස්ථිය තවත් වෙනස් වී, සයිල්සෝරිඩ්ස්ගේ අස්ථි නිර්මාණය වී ඇත. ඒ අනුව, ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස්ගේ ආදිතමයා සයිල්සෝරිඩ්ස් බවත්, ඌ උරගයන් සහ ඩයිනසෝරයන්ගේ අහිමි පුරුක බවත් පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් යන්නෙහි අරුත ‘ගොන්ඩ්වානාවේ අධිපතියා’ යන්නයි. මෙම කුඩා සත්වයා අඟල් 39 ක් දිගය. රාත්තල් 13 ක් පමණ බර වන්නට ඇතැයි අනුමාන කෙරේ. පොසිල විද්‍යාඥ රොඩ්රිගෝ ටෙම්ප් මුලර් සඳහන් කරන්නේ, කොඳු ඇට පෙළ එසේත් නැතිනම් කශේරුකාව පිහිටා ඇති ආකාරය අනුව, ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් කඩිසර ක්‍රියාශීලී සත්වයකු බවය.
ත්‍රියාසික යුගයේ, මිහිමත පහළ වූ අනෙක් සතුන් ද සමඟ ජීවත් වෙද්දී, දිවි රැක ගැනීමට, ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස්ට එය වාසියක් වන්නට ඇතැයි මියුලර් පෙන්වා දෙයි. 2014 දී ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් පොසිලය සොයා ගත් වෛද්‍යවරයා පේඩ්‍රෝ ලූකාස් පොර්සෙලා අවුරේලියෝය. ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් අවුරුදු මිලියන 252 ත් 201 ත් අතරේ විසූ සත්වයකු බව එදා තමන් දැන නොසිටි බවත්, වසර මිලියන 237 ක් පැරැණි ගොන්ඩ්වානක්ස් පැරයිසෙන්සිස් පොසිලය ස්පර්ශ කිරීමට තමන්ට හැකිවීම ගැන තමන් අදටත් මවිතයට පත් වන බවත් වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.