රුසියාව සමඟ යහපත් සබඳතා ඇතිකර ගන්නවා - ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි



වොෂින්ටනයේදීය (රොයිටර්)

ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය යටතේ රුසියාව සමඟ යහපත් සබඳතා ඇති කරගන්නා බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ බව පැවැසුවේ එහි ප්‍රකාශක ජෝන් කර්බිය. සබඳතා යළි අලුත් කර ගැනීමේ අරමුණින් රුසියාව සමඟ සාකච්ඡා කරන බවත්, අර්බුද පවතින්නේ නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බවත් ප්‍රකාශක ජෝන් කර්බි වැඩි දුරටත් කියා සිටී.

ඇමෙරිකාවත් රුසියාවත් අතර ඔබාමා පරිපාලනය යටතේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇණහිටියේය. ඊට හේතු වූයේ රුසියාව සහ යුක්රේන අතර පැවැති අර්බුදය සහ සිරියානු රජයට රුසියාව සහාය දැක්වීමය.

යුක්රේන අර්බුදයේ දී රුසියාව යුක්රේනයට අයත් ක්‍රිමියාව අත්පත්කර ගත්තේය. මීට ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලින් විරෝධයක් එල්ල විය. ජී 7 සමුළුවෙන් රුසියාව ඉවත් කිරීමට ද ඔබාමා පරිපාලනය කටයුතු කළේය.

සිරියානු අර්බුදයේ දී බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට රුසියාව සහාය දෙයි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ද රුසියාව සටන් වදී. ඇමෙරිකාව සහාය දෙන්නේ ජනාධිපති අසාද් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂ සටන්වදින සන්නද්ධ කල්ලිවලටය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම සන්නද්ධ කල්ලි සමඟ සම්බන්ධ වී සිටී.


RECOMMEND POSTS