අවුන් සාන් සූ කී පළමු වරට ජගත් මහ සමුළුව අමතයි



Myanmar

බුරුම (මියන්මාර) විදේශ ඇමැතිනිය මෙන්ම එරට රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකාවක ද වන අවුන් සාන් සූ කී පෙරේදා (21) පළමු වරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවාය.

අවුන් සාන් සූ කී මියන්මාරයේ (බුරුමය) නිල නොවන රාජ්‍ය නායිකාවය. පසුගිය මහ මැතිවරණයෙන් සූ කී සහ ඇගේ පක්ෂ ජයග්‍රහණය කළ ද ඇයට ජනපති ධුරයට පත් විය නොහැකි විය. එරට හමුදා පාලකයන් සූ කීට බලයට පත් විය නොහැකි ආකාරයට රටේ ව්‍යවස්ථාව සකස් කිරීම ඊට හේතුවය.

සූ කී විදේශිකයකු සමඟ විවාහ වී සිටි නිසා ව්‍යවස්ථාවට අනුව ඇයට ජනපති ධුරයට පත් වීමට නොහැකි විය. ඇගේ මියගිය සැමියා බි්‍රතාන්‍ය වැසියෙකි. ඒ අනුව, සූ කී වෙනුවට ජනපති ධුරයට පත් කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටින් කෝව් ය. 

සූ කී ජගත් මහ සමුළුව අමතමින් රටේ පවතින වාර්ගික සහ ආගමික අර්බුද ගැන පැහැදිලි කළාය. එම ගැටුම් පවතින්නේ මියන්මාරයේ රකීන් පළාතේ රොහින්ග්යා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන්ය. රටේ සුළු ජාතික ප්‍රජාව මොවුහුය.

මෙම සුළු ජාතික මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර අවස්ථා ගණනාවකදී මියන්මාර රජයට සහ සූ කී ට දන්වා තිබුණි.

‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ආරම්භ කළ ගමනේ දී අප සැමවිටම උත්සාහ ගන්නවා සාධාරණ අන්දමින් සාමකාමී විසඳුමකට යන්න. ඒ වෙනුවෙන් අප රජය කැපවීමෙන් කටයුතු කරන බව මා සහතික වෙනවා’ යැයි වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සූ කී පැවැසුවාය. එම කටයුත්තේ දී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබෙන සහාය සහ උපදෙස් අගය කරන බව ද සූ කී වැඩි දුරටත් කියා සිටියාය. 


RECOMMEND POSTS