සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නේය.
මෙරට වේලාවෙන් පස්වරු 2.30ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් මෙම දැනුම් දීම සිදු කරන ලදී.
මෙරට වේලාවෙන් එදින පස්වරුවේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ මට්ටමේ රැස්වීම ඇමතීමට නියමිතව ඇති අතර, 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු මස 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කොට සකස් කරන ලද, 2019 මාර්තු මස 40/1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ යෝජනා සම්මුතිය සඳහා සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයන් වෙත දැනුම් දෙනු ලැබීය.
විනාඩි 20 කට වැඩි කාලයක් කවුන්සිලය ඇමතූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සම අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් , මෙම යෝජනාව එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනගේ හෝ පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව හිටපු ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද්දක් බව ඔහු පැවසීය.
එබැවින් දේශීය ක්‍රියාවලියක් තුළින් ලංකාවේ වගවීම පිළිබද ගැටලු විසදීමට කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යවයා කියා සිටියේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් යුක්තිය හා සංහිඳියාව සහතික කරන බවත් සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස්වල ගැටළු විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මානව හිමිකම් සහ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු කොමිෂන් සභා පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් ශ්‍රී ලංකාව පත් කරන බව ඔහු පැවසීය.
නව රජයේ ප්‍රතිපත්තිය සැලකිල්ලට ගනිමින් අතීත නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මානව හිමිකම් කවුන්සිලයට යෝජනා කරන බව ගුණවර්ධන මහතා පැවසීය.
මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5 ක් ඉදිරිපත් කරන බවත් සදහන් කළ විදේශ අමාත්‍යවරයා ඒ අනුව 40/1 දරන යෝජනා සම්මතයේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීම , එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීම හා ඔවුන්ගෙන් දේශීය ප්‍රමුඛතා හා ප්‍රතිපත්තිවලට අනුකූලව, අවශ්‍ය පරිද්දෙන් සහයෝගය ලබාගැනීම ,දේශීයව නිර්මාණය කරනු ලැබ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසර සාමය ළඟා කරගැනීමට රජය තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත්කිරීම , ශ්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන ආකාරයකින්, නිසි ප්රජාතන්ත්රවාදී හා නෛතික ක්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසැඳී ඇති ගැටලු නිරාකරණය කිරීම ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය තුළ ඇති ආධ්යාංශය ප්‍රකාශයට පත්කිරීම යන යෝජනා ඊට ඇතුළත් බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් ශ්‍රීලංකා රජයේ තීරණෙයන් පසුව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් අද (27) සිදුකරන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට විදේශ සබදතා අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමට නියමිතය.
ඉන්පසුව හෙට (28) දින අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මැතිනිය හමුවීමට නියමිතය
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ ,විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ , ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොලඹගේ , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ , විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශයේ අධ්යක්ෂ ජනරාල් එම්.ආර්.කේ. ලෙනගල , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ කනිෂ්කා බාලපටබැඳි, ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රිගේඩියර් ඊ.එස්. ජයසුන්දර සහ විදේශ සබඳතා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සුබාෂ් ශ්‍රී විජේතුංග යන මහත්ම මහත්මීන් මෙවර සැසිවාරයට සහභාගීවූ ශ්‍රී ලංකා දූත පිරිස වෙති.
ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය සහ අදාළ කාර්ය මණ්ඩලය මෙම සැසිවාරයේ දී සහ රැස්වීම්වල දී මෙම නියෝජිත පිරිස සමඟ එක්වූහ.
ජිනීවාහි ගතකරන කාලසීමාව අතරතුර දී, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOG), ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) යන ආයතනවල අධ්යක්ෂ ජනරාල්වරුන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) මහලේකම්වරයා හමුවනු ඇත.
( තිළිණි ද සිල්වා )