සිරියාවට භාරකාර රජයක්



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එම භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් අල් බෂීර්ට හිමිවිය.

මොහොමඩ් අල් බෂීර් ලබන මාර්තු පළමු වැනිදා දක්වා භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර, මාර්තු පළමු වැනිදා මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව බෂීර් සිරියානු ජාතික රූපවාහිනිය ඔස්සේ සිරියානු වැසියන් අමතමින් පැහැදිලි කර ඇත. වසර 13 ක් තිස්සේ සිරියාවේ සිවිල් යුද්ධය පැවැති අවස්ථාවේදී, විපක්ෂය ඔවුන්ගේ පාලනය යටතේ ඇති පලාත් සියල්ල එක් කර ගනිමින් ‘විමුක්ති ආණ්ඩුව’ යන නමින් රජයක් පිහිටුවාගෙන තිබුණි. එම රජයේ නායකයා ලෙස කටයුතු කළේ ද මනා පරිපාලන දැනුමක් ඇති මොහොමඩ් අල් බෂීර්ය.

බටහිර හිතවාදී සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමත් සිරියාවේ ඩමැස්කස් අගනුවර අල්ලාගෙන, සිරියාව ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත්තේ පසුගිය සතිඅන්තයේය. 
ඒ සමඟම, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ පවුලේ අය රුසියාවට පලා ගිය අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රැකවරණ ඔවුන්ට ලැබී ඇත.


RECOMMEND POSTS