යුද්ධය වළක්වන්න උත්සාහයක්



ඊශ්‍රායලය සමග යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත් ඒ හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයා සහ විප්ලවීය හමුදාව අතර මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවත් "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට පිළිතුරු දක්වන ආකාරය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා සහ විප්ලවීය හමුදාව අතර මෙම මතභේදාත්මක තත්වය ඇතිව තිබෙන බව එම පුවත්පත සඳහන් කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව ප්‍රධානීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර සහ අනෙකුත් නගරවල තිබෙන ඊශ්‍රායල හමුදා කඳවුරුවලට පහරදිය යුතුබවට දැඩිව ප්‍රකාශ කරද්දී ඉරානයේ අසල්වැසි රටවල තිබෙන ඊශ්‍රායල හමුදාවේ රහසිගත කඳවුරුවලට පහරදීමට ජනපති මසූද් පෙසෙෂ්කියාන් යෝජනා කර ඇතැයි "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත පෙන්වා දුන්නේය.

ජනපති පෙසෙෂ්කියාන්ගේ යෝජනාව නොසළකා හරිමින් ඊශ්‍රායලයට පහරදීමට ඉස්ලාමීය විප්ලවීය හමුදාව සූදානම් වන බවත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි දුන් අණ නියත වශයෙන්ම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ක්‍රියාත්මක කරන බව එම බළකායේ ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇති බවත් "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.


RECOMMEND POSTS