ඉරාන ඒජන්තවරුන් දෙදෙනෙක්
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම සඳහා ඔහු නවාතැන් ගත් කාමරයේ බෝම්බය ඇටවීමට ඊශ්‍රායල බුද්ධි අංශය වන මොසාඩ්, ඉරාන ඒජන්තවරුන් දෙදෙනකු යොදාගෙන ඇතැයි "ද ටෙලිග්රාෆ්" පුවත්පත වාර්තා කළේය.
අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් සිටියදී ඉරාන ඒජන්තවරුන් දෙදෙනකු යොදා ගනිමින් පසුගිය මැයි මාසයේදී හනියේ ඝාතනය කිරීම මොසාඩ් සංවිධානයේ මුල් සැලැස්ම වී තිබී ඇති බවත් රයිසිගේ අවමංගල්‍ය උත්සවයට විශාල ජනතාවක් සහභාගීවීම හේතුවෙන් සැලැස්ම අසාර්ථකවීමට වැඩි ඉඩක් තිබීම නිසා මෙහෙයුම අතරමග නවතා දමා ඇති බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් "ද ටෙලිග්රාෆ්" පුවත්පත සඳහන් කළේය.
පසුව මොසාඩ් සංවිධානය සිය මුල් සැලැස්ම වෙනස් කරමින්, හනියේ ආපසු ටෙහෙරාන් නුවරට පැමිණි විට නවාතැන් ගැනීමට ඉඩ ඇති ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ආරක්ෂාව යටතේ පැවැතුණු නෙෂාට් ආගන්තුක නිවහනේ කාමර තුනක බෝම්බ ඇටවීමට මුල් සැලැස්මට සම්බන්ධ වූ ඉරාන ඒජන්තවරුන් දෙදෙනාම යොදාගෙන ඇතැයි "ද ටෙලිග්රාෆ්" පුවත්පත පැවැසුවේය. නෙෂාට්හි කුමන කාමරයේ හනියේ නවාතැන් ගනීවී දැයි පැවැසිය නොහැකි නිසා කාමර තුනක බෝම්බ ඇටවීමට මොසාඩ් සංවිධානය කටයුතු කර ඇතැයි එම පුවත්පත පෙන්වා දුන්නේය.
ඉරාන ඒජන්තවරුන් දෙදෙනා බෝම්බ ඇටවීම සඳහා හොර රහසේ නෙෂාට්හි කාමර වෙත ඇතුළුවන සහ පිටවන අයුරු සටහන් වී ඇති සී .සී.ටී.වී දර්ශන මේ වනවිට ඉරාන බලධාරීන් බාරයේ පවතින බවද ආරංචි මාර්ග උපුටා දක්වමින් "ද ටෙලිග්රාෆ්" පුවත්පත වාර්තා කළේය. බෝම්බ ඇටවීමෙන් පසුව ඒජන්තවරුන් දෙදෙනා ඉරානයෙන් පළා ගොස් ඇති බවත් බෝම්බය පුපුරවා හැරීම සඳහා ඔත්තුකරුවකු තබා ගොස් ඇති බවත් එම පුවත්පත සඳහන් කළේය.
මාස දෙකක් බලාසිටි එම ඔත්තුකරු හානියේ කාමරයට ඇතුළුවූ අවස්ථාවේ අලුයම 2 ට පමණ
බෝම්බය පුපුරවා හැර ඇති බවත් ඉන් ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සඳහා ටෙහෙරාන් නුවරට පැමිණි හමාස් දේශපාලන අංශ නායකයා ඝාතනයට ලක්වූ බවත් එම පුවත්පත පැවැසුවේය.
හනියේ ඝාතනය කරනු ලැබුවේ ඊශ්‍රායල බුද්ධි අංශය වන මොසාඩ් බවට පැහැදිලි සාක්ෂි මේ වනවිට ඉරානයට ලැබී අවසන් බවද "ද ටෙලිග්රාෆ්" පුවත්පත වාර්තා කළේය.