ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි



ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී පවසයි.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිවත්, ලෙබනනයේ ලෙබනන් වැසියන්ට එරෙහිවත් ජන සංහාර සිදු කරන බවට චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වහා අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර, ඉරාන උත්තරීතර නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මරණ දඬුවම ඉල්ලා සිටියේ ඒ අනුවය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කරයි. ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔහුට මරණ දඬුවම නියම කළ යුතුයි.’ ඉරාන උත්තරීතර නායකයා මෙසේ පැවැසුවේ, තෙහෙරාන් අගනුවර, ඉරාන විප්ලවීය හමුදාවට අයත් ‘බැසිජ්’ බලඇණියේ සෙබළුන් අමතමිනි.ඇමෙරිකාවට, බහරේනයට සහ සෞදි අරාබියට අනුව, ‘බැසිජ්’ බලඇණිය ත්‍රස්තවාදී කණ්ඩායමකි.

‘ගාසා තීරයට බෝම්බ දැමීම, ලෙබනනයට බෝම්බ දැමීම ජයග්‍රහණයක් යැයි නෙදන්යාහු කියනවා. ඒත් එය ජයග්‍රහණයක් නොවෙයි. මහා අපරාධයක්’ යැයි ඉරාන උත්තරීතර නායකයා පෙන්වා දුන්නේය.‘බැසිජ්’ බලඇණියේ සාමාජිකයන් හමුවේ පෙන්වා දුන්නේය.

ජනසංහාර සම්බන්ධයෙන් නැගෙන චෝදනා මුල්කොට ගනිමින්, නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාතය නෙදන්යාහු සහ එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට වරෙන්තු නිකුත් කර ඇත. 

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් යෝව් ගැලන්ට් දිගලින් දිගටම නෙදන්යාහුට සිය අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් නෙදන්යාහු මීට සති කීපයකට පෙරයෝව් ගැලන්ට් ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමුවේය.

රෝම ප්‍රඥප්තියට සහාය දක්වන රටවල් 124 ක් ඇති අතර, නෙදන්යාහු හෝ යෝව් ගැලන්ට් එම රඑටවලින් එකකට ගියහොත්, අන්තර් ජාතික අපරාධ අධිකරණයට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි බව පැවැසෙයි.


RECOMMEND POSTS