ඊශ්‍රායලය ප්‍රහාර අනුමත කරන්න බෑ



ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉන්දියාව ද පවසයි. 

සටන් විරාමයකට එකඟ නොවී, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරද්දී, පලස්තීන සිවිල් වැසියන් විපතට පත් වීම මානුෂීය ඛේදවාචකයක් බවත්, කලාපීය වශයෙන් අස්ථාවරත්වයක් ඇති කිරීමට ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හේතුවක් වී ඇති බවත් ඉන්දීය රජය වෙනුවෙන්, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රුචිරා කැම්බෝජ් පවසා ඇත. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය සම්බන්ධයෙන් හදිසියේ රැස්වුණු අස්ථාවේදීය.

‘ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, මුලින් ගල ගැහුවේ හමාස් සටන්කාමීන් බව ඇත්ත. හමාස් සටන්කාමීන් කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතිය තිබෙන බව ඇත්ත. ත්‍රස්තවාදයට සමාවක් දිය යුතු නැහැ. ඒත් දැන් තත්ත්වය දරුණුයි. බොහෝ දෙනාගේ විරෝධය මැදයි, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙන්නේ. එය අනුමත කළ නොහැකියි’ යැයි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රුචිරා කැම්බෝජ් පැහැදිලි කර තිබේ.

මේ වනවිට ඊශ්‍රායල හමුදා ලක්ෂ 3 කට ආසන්න පලස්තීනුවන් රැදී සිටින නැගෙනහිර ගාසා තීරයේ රෆා නගරයට පහර දෙයි. රෆා නගරයේ රැදී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ආරක්ෂාව සහ ආරක්ෂක දෙපාර්තමේන්තු​ නිලධාරියෙක් ද ජීවිතක්ෂයට පත්විය. මෙම නිලධාරියා ඉන්දියානුවකු බව ද පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ආරක්ෂාව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS