’බෙපී-කොලම්බෝ’ බුදට ළං වෙයි



සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සහ හිරුට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය බුද ය. කිලෝ මීටර් මිලියන 57 ක විෂ්කම්භයක් ඇති, බුද ට හිරුවටා ගමන් කිරීමට ගතවන කාලය පෘථිවි දින 88 කි. ඒ අනුව, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින්, අඩුම දින ගණනකදී හිරුවටා යන ග්‍රහලෝකය වන්නේ ද බුද ය.

ඉංග්‍රීසි බසින් බුද හැදින්වෙන්නේ 'මර්කියුරි' යනුයෙනි. ඒ, රෝම 'මර්කියුරිස්' දෙවියන් සිහි කරමිනි. බුද ගවේෂණයට 1974 සහ 1975 වසරේ දී 'මැරීනර් 10' ගවේෂණ යානයත්, 2004 දී 'මැසෙන්ජර්' ගවේෂණ යානයත් යවනු ලැබුණි. මේවා සාර්ථකව, බුද අසලින් යමින් ඡායාරූප සහ දත්ත රැස් කිරීම සිදුවිය. 'මැසෙන්ජර්' යානය හාර දහස් වාරයක් බුද වටා යමින්, බුදගේ කක්ෂයට පිවිසී, ගවේෂණයේ යෙදී අවසානයේ බුද මතට කඩා වැටුණි. ඒ, 2015 අප්‍රේල් 30 වැනිදාය. විද්‍යාඥයන් බුද ග්‍රහයා ගැන දන්නේ මෙම ගවේෂණ යානාවලින් ලැබුණු දත්ත අනුවය.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) එක් වී, බුද ගවේෂණයට යානයක් යැවීය. මෙම යානයත් මෙහෙයුමත් නම් කෙරුණේ 'බෙපී-කොලම්බෝ' (BepiColombo) යනුවෙනි. 'බෙපී-කොලම්බෝ' පෘථිවියෙන් නික්ම ගියේ 2018 ඔක්තෝබර් 20 වැනිදා ය. මෙහෙයුම සහ යානය 'බෙපී කොලම්බෝ' යනුවෙන් නම් කර ඇත්තේ ඉතාලි ජාතික විද්‍යාඥයකු, ඉන්ජිනේරුවකු සහ ගණිතඥයකු වන ජුසෙප්පේ බෙපී කොලම්බෝ (1920-1984) ට ගරු කරමිනි. ග්‍රහලෝකවල ගුරුත්ව බලය භාවිතයට ගනිමින්, ඒවා ගමන් කරවීම සහ ඒවා ග්‍රහලෝකවලට ළං කිරීම පිළිබඳ පළමුවෙන් අදහස් ඉදිරිපත් කළේ මොහුය. 'මැරීනර් 10' ගවේෂණ යානය බුද ගවේෂණය සිදු කළේ ඒ අනුවය.

2018 ඔක්තෝබර් 20 වැනිදා බුද බලා ගිය 'බෙපී කොලම්බෝ' යානය, එක්තරා ආකාරයකට මවු යානයක් හා සමානය. ඊට හේතුව මෙම යානය තුළ තවත් කුඩා ගවේෂණ යානා දෙකක් තිබීමය. මෙම යානා චන්ද්‍රිකා වැනිය. මවු යානයෙන් එළියට පැමිණීමෙන් පසු බුදගේ කක්ෂයේ රැඳී හිදිමින් ගවේෂණ කටයුතු සිදු කරනු ඇත. මෙම යානා දෙක නම් කර ඇත්තේ 'බුද කක්ෂීය යානය' (MPO) සහ බුද වායුගෝල නිරීක්ෂණ යානය (Mio) යනුවෙනි.

'බෙපී කොලම්බෝ' යානය, 'බුද කක්ෂීය යානය' (MPO) සහ බුද වායුගෝල නිරීක්ෂණ යානය (Mio) බුදගේ කක්ෂයට මුදා හැරීම සිදුකරන්නේ, 2025 දෙසැම්බර් පස් වැනිදාය. මවු යානය එසේ කරන්නේ, තවත් එක් වරක් පෘථිවිය වටාත්, දෙවරක් සිකුරු වටාත්, ගමන් කරමින් බුදට ළං වී බුද වටා හය වරක් ගමන් කිරීමෙන් ද පසුවය. ඊයේ (3) 'බෙපී කොලම්බෝ' යානය බුදට ළං වී පළමු වටය සම්පූර්ණ කළේය. එය සුවිශේෂී සිදුවීමක් විය.

බුදගේ ගුරුත්ව බලය උපයෝගී කර ගනිමින්, බුද වටා යද්දී, 'බෙපී කොලම්බෝ' මවු යානයේ වේගය අඩු කර ගැනීමට හැකිවුණු අතර, බුදගේ ඡායාරූප ගැනීමක් ඒ අනුව සිදුවිය. මෙම සටහන සමඟ පළ වන්නේ එම ඡායාරූපයයි. යානය ගමන් කළේ බුදගේ සිට කිලෝ මීටර් 240 කට වඩා අඩු දුරකිනි. ඡායාරූප ගැනීම කළේ යානයේ එක් කැමරා පද්ධතියක් පමණක් පණ ගන්වමින් බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලබා ගැණුනේ කළු සුදු ඡායාරූපයකි. බුදට ළං වී මිනිත්තු 10 ක් පමණ ගතවෙද්දී මෙම ඡායාරූපය ගැනීම සිදුවුණු සිදුවුණු බව යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතන නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඡායාරූපයට නැගුණේ බුදගේ උතුරු අර්ධ ගෝලයයි. 'ලර්මොන්ටෝව්' නමැති කිලෝ මීටර් 166 ක් පළල දැවැන්ත ආවාටය ඇතුළු තවත් ආවාට රැසක් පැහැදිලිව ඡායාරූපයට ඇතුළත් වෙයි. 'ලර්මොන්ටෝව්' ආවාටය හඳුනා ගැනීම සිදුවූයේ මීට පෙර සිදුවුණු ගවේෂණ මෙහෙයුම්වලදීය. 'යානය බුද අසලින් ගමන් කරමින් ඡායාරූප ගැනීම සිතුවාටත් වඩා සාර්ථකව සිදුවුණා. වසර 3 කට පමණ පසු  'බෙපී කොලම්බෝ' මෙහෙයුම පළමු වරට නියමිත ඉලක්කයට ළං වී තිබෙනවා. අපට බුද ග්‍රහයා පැහැදිලිව දකින්න ලැබුණා' යැයි 'බෙපී කොලම්බෝ' මෙහෙයුමට සම්බන්ධ මෙහෙයුම් කළමණාකාරිය එල්සා මොන්ටැග්නොන් පැවැසුවාය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS