ළිං කුහරයෙන් ගොඩ ආ රාහුල්



දස හැවිරිදි රාහුල් ෂාහුගේ කතාව සැබෑම ත්‍රාසජනක වික්‍රමයකි. ෂාහු ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක පදිංචි පුතෙකි. පසුගිය ජූනි 10 වැනිදා ෂාහුට අකරතැබ්බක් සිදුවිය.

නිවස පසුපස සෙල්ලම් කරමින් සිටිද්දී ඔහු අඩි 80 ක් ගැඹුරු නළ ළිං කුහරයකට වැටුණි. ළිං කුහරවලට වැටී සිරවුණු දරුවන් ගැන හද කම්පා කරවන පුවත් ඕනෑවටත් වඩා අපට අසන්න ලැබී තිබේ. ඉන්දියාවේ මෙවැනි සිදුවීම් බහුලය.  ඉන්දියාව අඟහරු ගවේෂණයට රොකට් යැවුවත්, ළිං කුහරවල සිරවුණු දරුවන් බේරා ගන්න බැරි යැයි පැවැසෙන්නේ ඒ නිසාය. ඒත් රාහුල් ෂාහු පුතාගේ කතාව ඊට වෙනස්ය. එහි අවසානය සතුටුදායකය.

ෂාහු පුතාගේ කතාව ත්‍රාසජනක වික්‍රමයක් වන්නේ ඔහු බිහිරි, ගොළු දරුවකු වීමය. ෂාහු පුතා අඳුරු නළ ළිං කුහරය තුළ දින හතරක් සිරවී සිටියේ තනිවම නොවෙයි. සර්පයකු, ගෙම්බකු සහ ගෝනුස්සන් ද ඒ තුළ සිටි බව පැවැසෙයි. අයපත් කාලගුණය ද දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා කළේය.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, රාහුල් ෂාහුගේ නිවස පසුපස ඉදි කිරීම් සිදුවෙයි. ගොඩනැගිලි පද්ධතියක් සඳහා නළ ළිං සැකැසීම සිදුවෙයි. සෙල්ලම් කරමින් සිටි ෂාහු ඇද වැටුණේ අනාරක්ෂිත ලෙස පැවැති එක් නළ ළිං කුහරයකටය. අඩි 80 ක් පහළ සිරවුණු ෂාහු යහතින් සිටිනවා ද නැද්ද යන්න දැන ගැනීම අසීරු විය. ඒ, ඔහු බිහිරි ගොළු දරුවකු වූ බැවිනි. ෂාහු පුතාට සිදුවුණු අකරතැබ්බ චතිස්ගාර් මහ ඇමැති බූපේෂ් බාගෙල්ට දැනගන්න ලැබුණු සැණින්, ඔහු ඊට වහා මැදිහත් විය. ඉන්දීය හමුදාව සහ පොලිසිය ද ඇතුළු 500 කට වැඩි පිරිසක් ෂාහු බේරා ගැනීමේ මෙහෙයුමට දායක වුහ.

ෂාහුගේ නිවස පසුපස ඉදිකිරීම් වැඩබිමේ කැණීම් යන්ත්‍ර තිබුණු අතර, ඉදිකිරීම්වලට සම්බන්ධ වී සිටි ඉන්ජිනේරුවන් සහ සේවකයන් ද ඔවුන්ගේ රාජකාරි නතතා ෂාහු බේරා ගැනීමේ මෙහෙයුමට දායක විය. නළ ළිං කුහරයට සමාන්තරව උමඟක් කැණීමට තීරණය කෙරුණි. කුඩා කැමරාවක් පහළට යවා අඳුරේ සිටින ෂාහු යහතින් සිටිනවාදැයි සොයා බැලුණි.

ෂාහු බේරා ගැනීමට උමඟ කැපීමට පස් කපන යන්ත්‍ර, දොඹකර ආදිය භාවිතයට ගැණුනි. පස් කඩා වැටීමකට ඉඩ නොතබා කැණීම් කටයුතු සෙමින් සිදුවිය. ෂාහුට අවශ්‍ය ඔක්සිජන් සැපැයීමක් ද නළ මාර්ගයෙන් සිදු විය. කෑමට කෙසෙල් ගෙඩි යැවුණි. අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වුවත්, පැය 24 පුරා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවිය. අවසානයේ, පැය 104 කට පසු, එනම් පසුගිය අඟහරුවාදා, පොසොන් පොහොය දා දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ෂාහු බේරා ගැනීමට සමත් විය.

දුර්වල තත්ත්වයෙන් පසුවුණු ෂාහු කඩිනමින් රෝහල්ගත කළ අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. රාහුල් ෂාහු යහතින් සිටින බවත්, ඔහු ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් මාධ්‍ය වෙත දැනුම් දීම කළේ චතිස්ගාර් මහ ඇමැති බූපේෂ් බාගෙල් ය. ෂාහු බේරා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තැබීමට අමතක නොකළේය. 'සර්පයකු ගෙම්බකු සහ ගෝනුස්සන් ද සමඟ අදුරු ළිං කුහරයක සිටි ෂාහු යහතින් බේරා ගැනීමට හැකිවුණා. ඔහු සැබැවින්ම නිර්භීත දරුවෙක්' යැයි මහ ඇමැති බූපේෂ් බාගෙල් වැඩි දුරටත් කියා සිටියේය.

ෂාහු පුතා බේරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුති පුද කිරීමට ද මහ ඇමැතිවරයා කටයුතු කළේය. ෂාහු ඇතුළත් කෙරුණේ බිලස්පූර් ඇපලෝ රෝහලටය. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඔහුට ප්‍රතිකාර ලබා දීමට මැදිහත් වූ බව ද පැවැසෙයි. ළිං කුහරයෙන් පිටතට ගත් සැණින්, ඔන්සිජන් ලබා දෙමින්, ෂාහු බිලස්පූර් ඇපලෝ රෝහලට ගෙන යෑමට විශේෂ ගිලන් රථයක් සූදානමින් තැබුණි. රෝහල ඇත්තේ කිලෝ මීටර් 100 ක් දුරිනි. ගිලන් රථය රෝහලට යෑම සඳහා‌ පොලිස් ආරක්ෂාවක් ද ලැබුණු බවත්, සෙසු මාර්ග සියල්ල වසා දමා ගිලන් රථයට මාර්ගයේ ඉඩ ලබා දුන් බවත් මාධ්‍ය වාර්තා පැවැසීය.

'රාහුල් ෂාහු බේරා ගැනීම ලොකු අභියෝගයක් වුණා. ඒකට හේතුව දරුවාට ඇහෙන්නේ නැහැ. කතා කරන්න බැහැ. ඔහු යහතින් සිටිනවා ද තුවාලයක් වුණා ද දැනගන්න විදියක් තිබුණේ නැහැ. අප ඔහුට කෙසෙල් ගෙඩි යැව්වා. කැමරාවෙන් අපට දකින්න ලැබුණා ඔහු ඒවා ආහාරයට ගන්නවා.' යැයි ජංගිර් දිස්ත්‍රික්ක පොලිස්පති විජේ අග්‍රවාල් මාධ්‍ය හමුවේ පවසා තිබේ. රාහුල් ෂාහුගේ ගම්මානය අයත් වන්නේ ජංගිර් දිස්ත්‍රික්කයටය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS