සෝලා ඕබිටර් දුටු සූර්ය ගිනිදැල්



හිරුගේ ගිනි දලු, හිරුගේ ධ්‍රැව අතර සැතැපුම් 15,000ක් දිගට විහිදෙයි. ඒවා ඉත්තෑවකුගේ කූරු මෙන් වැනි නිසා ‘ඉත්තෑවා’ යන අන්වර්ථ නාමය විද්‍යාඥයන් හිරු හැඳින්වීමට යොදා ගෙන තිබේ.

එසේ ගිනි දලු විහිදෙන බව දැක ගැනීමට හැකිවූයේ හිරු ගවේෂණයට ගිය, හිරු ගවේෂණය වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති සෝලා ඕබිටර් (Solar Orbiter) රොබෝ යානයේ උදව්වෙනි. මේ සූර්ය අග්නි ජාලා විවිධාකාරයට විහිදෙන බව ඒවායින් පෙනී ගොස් තිබේ. මෙය මීට පෙර විද්‍යාඥයන් දැන නොසිටි දෙයකි. සෝලා ඕබිටර් යානය නිපදවා ඇත්තේ එක්සත් රාජධානියයි.

මේ අපූරු දසුන් සෝලා ඕබිටර් යානය හසුකර ගත්තේ පසුගිය මාර්තු 26 වැනිදා එය සූර්යයාට වඩාත් සමීප වූ උපහේලිකයක (perihelion) යමින් සිටියදීය. යානය සූර්යයාගේ දර්ශන ලබා ගත්තේ ඊට ආසන්න ග්‍රහයා වූ බුදගේ කක්ෂයක යන අතරතුරේය. ඒ වන විට යානය පිහිටියේ පෘථිවියත් සූර්යයා එසේත් නැතිනම් හිරුත් අතර දුර මෙන් තුනෙන් එකක දුරකය. සූර්ය ගිනි ජාලා විහිදෙන මොහොතේ ම පෘථිවියේ සිටින අපට ඒවා දැක ගන්නට සැලැස්වීම විද්‍යාවේ තවත් හාස්කමක් ලෙස සැලකිය හැක. ඒවායින් තාක්ෂණයට හා අභ්‍යවකාශගාමීන්ට සිදුවන බලපෑම් ගැන අනාවැකි කීමටත් හැකියාව තිබේ.

අනෙක් සිත්කලු දසුන වන්නේ හිරු මත තාපය අනුව උණුසුම් වූ හා සිසිල් වූ ගෑස්වලින් නිකුත් වන මේ සූර්ය ජාලා හැම අතට ම විහිදෙන දර්ශනීය ආකාරයයි. හිරුට ‘ඉත්තෑවා’ කියා අන්වර්ත නාමයක් තබන්නට විද්‍යාඥයන් පෙලඹුණේ ඇයිදැයි යන්න මේ සටහන සමඟ පළ වන ඡායාරූප දකිද්දී පැහැදිලි වනු ඇත.

“ඇත්තෙන් ම අතිශයින් විස්මයජනක දෙයක්, හිරුගේ ගිනිදැල් විහිදන ආකාරය පිළිබිඹුවකින් දැක ගන්නට ලැබීම. මේ තරම් සමීපව මේ දසුන් දැක ගන්න ලැබුණු පළමුවන වතාව” යැයි එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සියේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ප්‍රධානී කැරොලීන් හාපර් පැහැදිලි කරයි. එක්සත් රාජධානිය අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ වී සිටින්නේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ සාමාජිකයකු ලෙසය.

“අපට මෙහිදී සෝලා ඕබිටර් යානය එවන මේ පිළිබිඹුවලින් අපට ඉගෙන ගන්නට ලැබෙනවා විතරක් නොවෙයි, හිරුට වඩාත් සමීප වන විට එය දැනෙන ආකාරයත් අපට අත් විඳින්න පුලුවන්. ඒ වගේම ඒ හිරුගේ ගිනිදැල් හා මෑත කාලීනව සිදුවූ සූර්ය ස්කන්ධ විමෝචනයත් දැක ගන්න පුලුවන්” යැයි කැරොලීන් හාපර් වැඩි දුරටත් පෙන්වා දෙයි.

සෝලා ඕබිටර් යානය තුළ විද්‍යාත්මක උපකරණ 10ක් අන්තර්ගතය. ඒවායින් 9ක් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියෙනි. අනෙක ඇමරිකාවේ නාසා ආයතනය ලබා දුන් උපකරණයකි. මේ සියල්ලම එක්ව ක්‍රියා කරන්නේ සූර්යයාගේ ක්‍රියාකාරිත්වය ගැන සෙවීමේ අරමුණින්ය.

ඕබිටර් යානයේ ප්‍රධාන අරමුණ වන්නේ සූර්යයා හා සූර්යගෝලය (heliosphere) හෙවත් සූර්යයා ඇතුළු අප ඉන්නා මුළු සෞරග්‍රහ මණ්ඩය ඇතුළත් විශාල බුබුළ තුළ ඇති ග්‍රහ වස්තූන් අතර සම්බන්ධතා ගැන ගවේෂණය කිරීමය. ඒ බුබුළ පිරී ඇත්තේ ආරෝපිත විද්‍යුත් අංශුවලිනි. ඒවායින් වැඩි ප්‍රමාණයක්, සූර්යයා මත ඇතිවන සූර්ය සුළංවලින් ගසා ගෙන ආ අංශු යැයි පැවැසෙයි. සූර්ය චුම්බක ක්ෂේත්‍රවල බලයෙන් අභ්‍යවකාශයේ කාලගුණය නිර්මාණය කරන්නේ ඒවාය.

ඊළඟට යානය හිරුට තවත් ටිකක් ළං වීමට නියමිතව ඇත්තේ එලැඹෙන ඔක්තෝබර් 13 වැනිදාය. ඒ අවස්ථාවේ යානය හිරුට ළං වෙන්නේ පෘථිවිය හා සූර්යයා අතර දුර මෙන් 0.29 ගුණයකිනි. ඊට පෙර, එලැඹෙන සැප්තැම්බර් 4 වැනිදා ඔබිටර් යානය සිකුරු අසලින් ගමන් කරනු ඇතැයි ද පැවැසෙයි.

ඕබටර් යානයේ ඇති ආන්තික පාරජම්බුල කිරණ ප්‍රතිබිම්බ ජනක උපකරණයට අදාළ පරීක්ෂණ කටයුතු කරන පිරිසේ ප්‍රධානියා බෙල්ජියමේ රාජකීය ග්‍රහ නිරීක්ෂාගාරයේ ඩේවිඩ් බර්ග්මන්ස් නම් විද්‍යාඥයාය. සූර්ය කොරෝනාව ලෙස හැඳින්වෙන සූර්යයාගේ ‘වායුගෝලයේ’ පහළ ස්තරවල අධි විස්තාරක පිළිබිඹු නිර්මාණය කරන්නේ මෙම උපකරණයෙනි. ලැබුණු පිළිබිඹු ගැන බර්ග්මන්ස් විස්මයට පත් වී සිටී.

“විද්‍යාඥ කණ්ඩායමට දැන් තියෙන රාජකාරිය මේ පිළිබිඹු විශ්ලේෂණය කිරීමයි. ඒත් ඒක ලේසි පහසු කටයුත්තක් නොවන බව පැහැදිලියි. සෝලා ඕබිටරය විශාල ක්‍රියාකාරකම් රැසක දත්ත හකුළා එයීම සිදු කරයි. ඔවුන්ට එක්වරම තමන් දකින දේ ගැන නිගමනයක් දෙන්න බැහැ. එයට හේතුව කිසියම් සිදුවීමක ලක්ෂණ දුටු පමණින් කිව නොහැකි වීමයි. ඒ සඳහා ඔවුනට අතීතයේ වෙනත් අභ්‍යවකාශ ගමන්වල දී ලත් පිලිබිඹු සමඟ සසඳා බලන්න වෙනවා. සෝලා ඕබිටර් යානය කවදා හෝ අක්‍රියවුණු පසුවත් අපගේ මේ පරීක්ෂණ කටයුතු අවසන් වන්නේ නැහැ. දැනමත් ඒ මගින් තව වසර ගණනාවක් කරන්න දත්ත අපට ලබා දී තියෙනවා.”යැයි බර්ග්මන්ස් පවසයි.

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයක් වන සෝලා ඕබිටර් යානය උඩු ගුවනට යැවීමට මූලික වූයේ ද යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියයි. එය සිදුවූයේ ඇමරිකාවේ නාසා ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතුවය. එහි අරමුණ වුණේ හිරු සහ පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට ඇති හිරුගේ බලපෑම සෙවීමය. මේ රොබෝ ගවේෂණ යානය උඩුගුවනට යවනු ලැබුවේ 2020 පෙබරවාරි මාසයේදිය. එය සූර්යයා වෙත පළමුවරට සමීප වූයේ 2020 ජූනි මාසයේදිය. එංගලන්තයේ ස්ටෙවනේජ්හි දි තනනු ලැබූ මේ යානයට ඉතා පරිස්සමෙන් තෝරාගනු ලැබූ දුරේක්ෂ 10ක් හා දිසා සංවේදක උපකරණ (direct sensing instruments) සවි කර තිබේ.

සැලසුම් කර ඇති පරිදි මේ සෝලා ඔබිටර් යානය සූර්යයා මතු පිට සිට කි.මී 43,000ක් (සැ. 26,000ක්) තරම් දුරකට සමීප වීමට නියමිතය. කොරෝනා යනුවෙන් හැඳින්වෙන සූර්යයාගේ ප්‍රචණඩකාරී බිහිසුණු බාහිර වායුගෝලය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් මෙය යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.

පෘථිවියේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට බලපෑම් ඇති කරන, සූර්යයාගෙන් නිකුත්වන සූර්ය සුළං අභ්‍යවකාශයට විදිනු ලබන්නේ මේ කලාපයෙනි. මේ සුර්ය සුළං ඇති වීම පිළිබඳ කරුණු හෙළිදරවු කර ගැනීමට සෝලා ඕබිටරය මගින් බලාපොරොත්තු වෙයි.  එමගින් අනාගතයේ ඇති වන එවැනි තත්වයන් ගැන කල් තියා හොඳින් අනාවැකි කියන්නට ඔවුන්ට හැකි වනු ඇත.

සෝලා ඕබිටරයේ ඇති තාප නිවාරකවලට සූර්යයාට සමීප වන විට ලැබෙන අධික තාප තත්වයන් සෙල්සියස් 600ක් (ෆැරන්හයිට් 1112ක්) දක්වා දැරිය හැකිය. එය නාසා ආයතනය විසින් 2018 අගෝස්තු මාසයේදී සූර්යයාගේ කොරෝනාව නිරීක්ෂණය සඳහා යවනු ලැබූ පාකර් සෝලා නිරීක්ෂණ යානය (Parker Solar Probe) සමග සමීප කටයුතු කරනු ඇති බව පැවැසෙයි.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS