සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක්



ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයක් පවත්වමින් සිටි බ්‍රිතාන්‍ය නවකතාකරු ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි ට පිහි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් 75 හැවිරිදි රුෂ්ඩි, බරපතල ලෙස තුවාල ලැබුවේය. දශක පහක, රුෂ්ඩිගේ සාහිත්‍ය ජීවිතය පුරාවට පැසැසුම්වලට වඩා රුෂ්ඩිට හිමිවූයේ ගැරහුම්ය. එම දශක පහ පුරාවට රුෂ්ඩිට මරණ තර්ජන එල්ල වන්න වූ අතර, පොලිස් රැකවරණ මැද ඔහු සැඟවී ජීවත් විය.

රුෂ්ඩිගේ නව කතා බොහොමයක් අති සාර්ථක විය. 1981 වසරේ ඔහුගේ දෙවැනි නව කතාව, Midnight's Children බුකර් සම්මානයෙන් පවා පිදුම් ලැබීය. රුෂ්ඩි ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ 1988 වසරේදීය. ඒ, සිය සිවුවැනි නවකතාව The Satanic Verses හේතුවෙනි. The Satanic Verses නවකතාව ඉස්ලාම් දහමට නිගරු කිරීමක් යැයි මුස්ලිම් ප්‍රජාව එක හෙළා චෝදනා නගන්න විය. ලොව නන්දෙසින් මුස්ලිම් රටවලින් රුෂ්ඩිට දොස් අහන්න සිදුවිය. The Satanic Verses නවකතා පමණක් නොව, එම නවකතා අලෙවි කරන්න සැරැසුණු පොත් අලෙවිසැල් පවා ගිනිබත් කෙරුණි. මුස්ලිම් ලෝකය උඩුයටිකුරු කිරීමට රුෂ්ඩි සමත් වී සිටියේය.

එදා ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වූයේ අයතුල්ලා රුහොල්ලා කාමේනී ය. 1989 වසරේ දී අයතුල්ලා රුහොල්ලා ආඥාවක් (ෆට්වා fatwa) නිකුත් කරමින් මුස්ලිම්වරුන්ට පැවැසුවේ ඉස්ලාම් දහමට නිගරු කළ සල්මාන් රුෂ්ඩි ඝාතනය කළ යුතු බවය. රුෂ්ඩි ඝාතනය කරන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3.3 ක් ලබා දෙන බව ද ඉරානය නිවේදනයක් ද නිකුත් කළේය.

මරණ තර්ජන එල්ල වෙද්දී, රුෂ්ඩි සැඟවුණු දිවියක් ගත කරන්න පටන් ගත්තේය. බ්‍රිතාන්‍ය රජය ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දුන්නේය. මුස්ලිම් ප්‍රජාව රුෂ්ඩි ට විරෝධය පළ කරද්දී, බටහිර රටවල් සහ බටහිර රටවල ලේඛක ලේඛිකාවන් සහ ලොව පිළිගත් විද්වතුන් රුෂ්ඩි ට සහාය පළ කරමින් කියා සිටියේ, ඕනෑම ලේඛකයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවය.

බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රුෂ්ඩි, උපත ලැබුවේ ඉන්දියාවේදීය. ඒ, බ්‍රිතාන්‍ය යටතක් විජිතයක් වූ ඉන්දියාවට නිදහස හිමිවීමට මාස දෙකකට පෙරය. අවුරුදු 14 දී ඔහු එංගලන්තයට යැවුණි. පසුව ඔහු කේම්බ්‍රිජ් හි කීර්තිමත් කිංග්ස් විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්තේය.

බ්‍රිතාන්‍ය පුරවැසියකු වීමත් සමඟ ඉස්ලාම් දහම කෙරෙහි රුෂ්ඩි තුළ පැවැති භක්තිය හීන වන්න විය. කෙටි කාලයක් ඔහු රංගන ශිල්පියෙක් විය. නවකතා රචනා කරන අතරතුරේ වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයකු ලෙස ද කටයුතු කරන්න විය. රුෂ්ඩිගේ පළමු මුද්‍රිත නවකතාව Grimus ය. මෙය ලොකු සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැත. එසේ වුවත්, ඇතැම් විචාරකයන් පැවැසුවේ, දක්ෂ නවකතාකරුවකු වීමේ ලක්ෂණ රුෂ්ඩි සතු බවය.

ඉතා සාර්ථක වූ බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබූ Midnight's Children නමැති දෙවැනි නවකතාව රචනා කිරීමට රුෂ්ඩිට වසර පහක් ගත විය. පිටපත් මිලියනයක් අලෙවි විය. Midnight's Children නවකතාවට පාදක වන්නේ ඉන්දියාවය. 1983 දී රුෂ්ඩිගේ Shame නව කතාව එළිදැක්විණි. මෙම නව කතාවට පාදක වන්නේ පාකිස්තානයයි. නිකර්ගුවාවේ කළ සංචාරයකින් පසු රුෂ්ඩි සිය The Jaguar Smile කෘතිය රචනා කළේ සිවු වසරකට පසුවය.

1988 සැප්තැම්බර් මාසයේ Satanic Verse එළිදැක්වීමත් සමඟ තම ජීවිතය උඩු යටිකුරු වේවි යැයි රුෂ්ඩි සිතන්න නැත. Satanic Verse කෘතිය පළමුවෙන්ම තහනම් කළ රට ඉන්දියාවය. ඉන්පසු පාකිස්තාන සහ සෙසු මුස්ලිම් රටවල් සහ දකුණු අප්‍රිකාව ද Satanic Verse නවකතාව තහනම් කළේය. Satanic Verse සම්බන්ධයෙන්, බටහිර රටවල්, බටහිර ලේඛකයන් සහ විද්වතුන් රුෂ්ඩිට සහාය පළ කරද්දී රටවල් රැසක විරෝධතා ආරම්භ විය.

මුස්ලිම්වරුන් එක හඩින් පැවැසුවේ Satanic Verse නවකතාව ඉස්ලාම් දහමට නිගරු කළ බවය. නබි නායක තුමන්ගේ භාර්යාවන්ගේ නම් පොතේ සඳහන් ගණිකාවන් දෙදෙනකුට යොදා තිබුණි. එය මුස්ලිවරුන්ගේ අප්‍රසාදයට එක් හේතුවක් විය. Satanic Verse පොතේ මාතෘකාව, මහම්මත්තුමන් කුරාණයෙන් ඉවත් කරන ලද වැකි දෙකක් ගැන සඳහන් කරයි. මහම්මත්තුමා එම වැකි කුරණායෙන් ඉවත් කළේ යැයි පැවැසෙන්නේ එම වැකි සම්බන්ධව යක්ෂයාගේ ආනුභාවයක් ඇතැයි විශ්වාස කළ බැවිනි.

1989 ජනවාරි මාසයේදී, බ්‍රැඩ්ෆෝර්ඩ් හි මුස්ලිම්වරුන් චාරිත්‍රානුකූලව පොතේ පිටපතක් පුළුස්සා දැමූ අතර, පුවත්පත් නියෝජිතයන් වන WHSmith සමාගම Satanic Verse නවකතාව ප්‍රදර්ශනය කිරීම නැවැත්වීය. මහම්මත්තුමාට සහ ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි මුස්ලිම් ප්‍රජාව එල්ල කරන චෝදනා රුෂ්ඩි තරයේ ප්‍රතික්ෂේප කළේය.

1989 පෙබරවාරියේදී, රුෂ්ඩිට එරෙහි ආරම්භ වුණු විරෝධතා කැරැලි කෝලහාල තෙක් වර්ධනය විය. ඉරානයේ තෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල විය. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා රුහොල්ලා, රුෂ්ඩිගේ හිසට මිලක් නියම කළේ ඒ අනුවය.

මේවනවිට බ්‍රිතාන්‍ය මුස්ලිම් නායකයන්ගෙන් ඇතැමුන් ඉරාන ආධ්‍යාත්මික නායකයාට සහාය දක්වමින් රුෂ්ඩිට විරෝධය පළ කරන්න වූ අතර ඇතැම් මුස්ලිම් නායකයෝ මධ්‍යස්ථභාවයෙන් කටයුතු කළහ. බටහිර රටවල්, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා රුහොල්ලා කළ ප්‍රකාශය හෙලා දුටුවේය.

රුෂ්ඩි සහ බිරිඳ මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ සැඟවී සිටියහ. තම නවකතාව හේතුවෙන්, මුස්ලිම් ලෝකය කැලැඹීම ගැන සමාව ඉල්ලීමට රුෂ්ඩි ට සිදුවිය. ඒත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා රුහොල්ලාගෙන් සමාවක් ලැබුණේ නැත. ඔහු රුෂ්ඩිගේ හිස වෙනුවෙන් නිකුත් කළ ආඥාව (ෆට්වා fatwa) අලුත් කළේය. Satanic Verse නවකතාවේ ප්‍රකාශකයන් වන වයිකින් පෙන්ගුයින් සමගමේ ලන්ඩන් සහ නිව් යෝර්ක් කාර්යාලයට මරණ තර්ජන එල්ල විය. ආන්දෝලනයක් ඇති කළ Satanic Verse බටහිර රටවල උණු කැවුම් මෙන් අලෙවි වන්න විය. ඉරාන ආධ්‍යාත්මික නායකයා රුෂ්ඩිගේ හිසට මිලක් නියම කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑ ඇතැම් බටහිර රටවල්, තෙහෙරාන් නුවරින් තාවකාලිකව ඔවුන්ගේ තානාපතිවරුන් පවා ඉවත් කර ගත්තේය.

Satanic Verses කෘතිය සම්බන්ධයෙන්, මරණ තර්ජන එල්ල වූයේ රුෂ්ඩිට පමණක් නොවෙයි. Satanic Verses කෘතිය ජපන් බසට පරිවර්තනය කළ පරිවර්තක මහාචාර්ය හිටෝෂි ඉගරාෂි 1991 ජූලි මාසයේදී ඝාතනය කෙරුණි. ඔහුගේ සිරුර ටෝකියෝවේ ඊසාන දෙසින් පිහිටි ත්සුකුබා විශ්ව විද්‍යාලයෙන් සොයා ගැනුණි. හිටෝෂි ඉගරාෂි පිහි ප්‍රහාරයකින් ඝාතනය කර තිබුණැයි පොලිසිය පැවැසීය. 1991 ජූලි මාසය මුලදී Satanic Verses කෘතියේ ඉතාලි පරිවර්තක එටෝර් කැප්‍රියෝලෝට ඒරෙහිව ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් ඔහු දිවි ගලවා ගත්ත ද පසුව මිලාන් නුවර පිහිටි ඔහුගේ මහල් නිවාසයේදී පිහි ප්‍රහාරයකට ලක්විය. රුෂ්ඩිට මරණ දඩුවම ලබා දිය යුතු යැයි ඉරාන රජය නිල වශයෙන් අනුමත කළේ 1998 දීය.

රුෂ්ඩිගේ පසුකාලීන පොත් අතර, ළමුන් සඳහා නවකතාවක් Haroun and the Sea of ​​Stories (1990), රචනා පොතක් Imaginary Homelands (1991) සහ East, West (1994), The Moor's Last Sigh (1995), The Ground යන නවකතා ඇතුළත් වේ. Beneath Her Feet (1999) සහ Fury (2001) ද රුෂ්ඩිගේ නවකතාය. 2003 දී Midnight's Children වේදිකා නාට්‍යයක් ලෙස නිර්මාණය කෙරුණි. ඊට ද රුෂ්ඩි දායක විය.

රුෂ්ඩි සිව් වතාවක් විවාහ වී ඇති අතර ඔහුට දරුවෝ දෙදෙනෙකි. රුෂ්ඩි ඇමෙරිකාවේ පදිංචියට ගිය අතර, සාහිත්‍යය සඳහා ඔහු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට 2007 දී නයිට් පදවිය හිමිවිය. රුෂ්ඩිගේ නවතම කෘතිය Victory City ලබන පෙබරවාරියේ එළි දැක්වීමට නියමිතය.

පිහි ප්‍රහාරයට ලක්වීනේ රුෂ්ඩි බරපතල ලෙස තුවාල ලැබුවේ නිව්යෝක් ප්‍රාන්තයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදීය. පිහි ප්‍රහාරයෙන් රුෂ්ඩිගේ එක් ඇසකට හානි සිදුවී ඇති බවත්, එම ඇස ඔහුට අහිමි වනු ඇති බවත් වෛද්‍යවරු පවසති. සිද්ධිය දුටු පිරිස පවසන ආකාරයට ප්‍රහාරයකයා, තත්පර 20 ක් තුළ රුෂිඩිගේ බෙල්ලට, බඩට සහ ඇසකට තුවාල සිදු කළ බවය. රුෂ්ඩි, ෂිටෝකා අධ්‍යාපන ආයතනයට පැමිණ, දේශනය සඳහා වේදිකාවට ගොඩවී, දේශනය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී ප්‍රහාරයට ලක් විය.

වේදිකාවට කඩා වැදී, ක්ෂණිකව, රුෂිඩි ට පිහි ප්‍රහාරය එල්ල කළේ 24 හැවිරිදි හදී මටාර් නමැති නිව් ජර්සි ප්‍රාන්තයේ තරුණයෙකි. ආරක්ෂක නිලධාරීන් තරුණයා අල්ලාගෙන පොලිසියට බාර දී ඇත. ලේ විලක් මැද ඇද වැටුණු රුෂ්ඩි, හෙලිකොප්ටරයකින් රෝහල් වෙත රැගෙන යෑම සිදුවිය. බරපතල තත්ත්වයෙන් පසුවන රුෂ්ඩි ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කෙරුණි. රුෂ්ඩි ට එල්ල වුණු ප්‍රහාරය හෙලා දකිමින් බ්‍රිතාන්‍යයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බොරිස් ජොන්සන් ද ට්විටර් පණිවුඩ නිකුත් කර තිබේ.

(BBC)


RECOMMEND POSTS