ව්‍යවස්ථාපිත අධිකාරීවාදියා මාකෝස්



ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් පිලිපීන නීතීඥයෙකි; දේශපාලනඥයෙකි; ජනාධිපතිවරයෙකි; ඒකාධිපති පාලකයෙකි.  1965 සිට 1986 දක්වා පිලිපීනයේ 10 වැනි ජනාධිපතිවරයා වූයේ මාකෝස්ය. 1972 සිට 1981 දක්වා කාලයේ ඔහු රට පාලනය කළේ හමුදා නීතිය පනවමිනි. 1986 වසරේ ධුරය අහිමි වනතුරු ම මාකෝස්, ව්‍යවස්ථාපිත අධිකාරීවාදියකු ලෙස ජනාධිපති ලෙස ඔහුට හිමි හමුදා බලතල අනුව කටයුතු කළේය. 20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන මාකෝස්ගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් විය.

මාකෝස් දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත්තේ පිලිපීන ජනතාවගේ ප්‍රියතම යුද විරුවා බවට පත් වෙමිනි. දෙවැනි ලෝක යුද්ධයේ දී, ඇමෙරිකන් හමුදාව යටතේ ඔහු ජපාන හමුදාවට එරෙහි සටන් වැදුණු සොල්දාදුවකු බවත්, පසුව ජපාන හමුදාවේ යුද සිරකරුවකු වී නිදහස ලැබූ බවත් පැවැසෙයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වාද විවාද පවතී. ඇමෙරිකාවේ හමුදා ලේඛන අනුව මාකෝස් යුද විරුවකු නොවෙයි.

1965 දී පිලිපීනයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මාකෝස්, ඔහුගේ 20 වසරක පාලනය ආරම්භයේදී වර්ධනය වූ ආර්ථිකයක මුලසුන හෙබවීය. කෙසේ නමුත් එය අවසන් වූයේ රටවැසියන් ණය අර්බුදයකට ඇද දමමිනි. ජනාධිපති මාකෝස්, විදේශ ණය මගින් අරමුදල් සපයා ගනිමින්, යටිතල පහසුකම් සංවර්ධන කිරීමට ආක්‍රමණශීලී වැඩසටහනක් අනුගමනය කළේය. ඔහුගේ පළමු ධූර කාලය තුළ ඔහු ජනප්‍රිය විය. ඔහු ජනතා වීරයා විය.

කෙසේ නමුත් මාකෝස්ගේ දෙවන ධූර කාලය තුළ සමාජ නොසන්සුන්තාවට තුඩු දෙන උද්ධමන අර්බුදයක් ද ඇති කළේය. දෙවන ධූර කාලය අවසන් වීමට ටික කලකට පෙර, 1972 සැප්තැම්බර් 23 වැනිදා ඔහු පිලිපීනය හමුදා නීතිය යටතට පත් කළේය. ඒ, ජනතා අසහනය නිසා නිර්මාණය වූ නොසන්සුන්තාව මර්දනය කිරීමටය; විපක්ෂය නිහඬ කිරීමටය. 1973 දී 'වංචනික' ජනමත විචාරණයක් හරහා ඔහු හමුදා නීතිය අනුමත කර ගත්තේය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය; මාධ්‍ය ආයතන නිහඬ කරවීය. විපක්ෂ ක්‍රියාකාරීන්ට, සැකයට බඳුන් වූ කොමියුනිස්ට්වාදීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව හමුදා නීතිය යටතේ ප්‍රචණ්ඩත්වය දියත් කළේය. මේ සියලු දෙනා තළා පෙළා පීඩනයකට ලක් ක‍ළේය.

ඒ, 1981 ජූනි 16 වැනිදා ය. දිගු කලක් තිස්සේ රට වැසියන් පීඩාවට පත් කළ, දේශපාලන ක්‍රියාකාරීන් මර්දනයට ලක් කළ හමුදා නීතිය ඉවත් කර මාස 6 ක් ගත වී තිබුණි. වසර 12 කට පසු පිලිපීනය ජනාධිපතිවරණයකට මුහුණ දුන්නේය. බලය අත්හැරීම ප්‍රතික්ෂේප කළ මාකෝස්, සිය තෙවැනි ධුරය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත්, එක්සත් ජාතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ඇතුළු රටේ ප්‍රධාන පෙළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජනාධිපතිවරණය වර්ජනය කළහ. ඒ කෙසේ හෝ මාකෝස් ජනාධිපතිවරණය ජයගෙන තවදුරටත් ධුරයේ රැඳී සිටින බව ඔවුන් හොඳින් දැන සිටිය බැවිනි.

මාකෝස්ට විශිෂ්ට ජයක් හිමිවිය. වසර 3ක් රටින් පිටිවහල් කරනු ලැබ සිටි, මාකෝස්ට අභියෝගයක් වූ විපක්ෂ නායක බෙනිග්නෝ අකිනෝ ජූනියර්(කනිෂ්ඨ)ට නැවත රටට ඒමට අවසර දුන්නේය. ඒ අනුව 1983 අගෝස්තු 21 වැනිදා ඔහු ඇමෙරිකාවේ සිට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ඔහු රටින් පිටුවහල් වී ඇමෙරිකාවට ගියේ බයිපාස් සැත්කමක් සඳහා ජනාධිපති මාකෝස් අවසර ලබා දී තිබුණු බැවිනි. කෙසේ නමුත් ගුවන්තොටුපොළේ දී බෙනිග්නෝ අකිනෝ ජූනියර් ඝාතනය කෙරුණි. ඒ වන විටත්, ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් ලෙස කටයුතු කළ බර්නබේ බස්කේනෝ (කොමාන්ඩර් ඩාන්ටේ) සහ ලුතිනන් වික්ටර් කොර්පූස්ට හමුදා කොමිසමක් මගින් මරණ දඬුවම ලබා දී තිබුණි. ඒ, ඔවුන් සතුව නීති විරෝධී ගිනි අවි තිබීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වරදකරුවන් වූ නිසාත්ය. තෙවැනි වාරය සඳහා තේරී පත්වීමෙන් පසුව, 1983 මුල් භාගයේ ආරම්භ වූ ආර්ථික කඩා වැටීම සහ එම වසරේ අග භාගය වන විට විපක්ෂ නායක බෙනිග්නෝ අකිනෝ (නීනෝයි) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහජන කෝපය නිසා මාකෝස්ගේ ජනප්‍රියත්වය බෙහෙවින් අඩු විය.

පිලිපීන කොමියුනිස්ට් පක්ෂය මාකෝස්ගේ නින්දිත පාලනයට එරෙහිව සන්නද්ධ අරගලයක් දියත් කළේ ඒ අනුවය. 1972 දී මාකෝස් විසින් රටපුරා හමුදා නීතිය පනවමින් සිය විරුද්ධවාදීන්, මෙන් ම ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය ද ඇරැඹුවේය. ප්‍රතිවාදීන් වූ ලොපෙසස්, ජෝවිටෝ සලේන්ගා, හෙ දියෝක්නෝ වැනි දේශපාලන පක්ෂ නායකයන් දින නියමයක් නොමැතිව සිර කර තැබීය. සිය ප්‍රධානතම ප්‍රතිවාදියා වූ බෙනිග්නෝ අකිනෝ රටින් පිටුවහල් කළ අතර, නැවත වසර තුනකට පසුව ඔහු සිය රටට පැමිණෙද්දී ගුවන් තොටුපොළේදී වෙඩි තබා ඝාතනය කළේය. ජනමාධ්‍ය නිහඬ කරමින් රාජ්‍ය මාධ්‍ය පමණක් රට තුළ ක්‍රියාත්මක කළේය. එදා එනම්, 1972 සිට 82 දක්වා කාලයේ ඇමෙරිකාව ඩොලර් බිලියන 2,5 ක යුද්ධ හා ආර්ථික ආධාර මාකෝස්ගේ රජයට ලබා දී තිබුණි. මානව හිමිකම් කඩවීම් ගැන සැලකිල්ලක් නොදක්වා, එවකට පාප්තුමන් ලෙස කටයුතු කළ දෙවැනි ජෝන් පාවුළු පාප්තුමන් පිලිපීනයට පැමිණියේය.

මාකෝස් රටේ ධනය සූරාකමින් ජනතාව පෙළීමට පටන් ගත්තේය. මේ අතර, මාකෝස්ගේ බිරිඳ  ඉමෙල්ඩා මාකෝස්‌ බිරිඳ සිය සැමියාගේ බලය අතට ගෙන රටේ වටිනා වස්‌තූන් පමණක්‌ නොව දුර්ලභ ගණයේ මිල නොහැකි කලා භාණ්‌ඩද වටිනා ස්‌වර්ණාභරණ ද, වතුපිටිද කොල්ල කෑමට පටන් ගත්තාය. බලයෙන් පහ වන විට ඇය සතුව තිබුණ නොයෙක්‌ වර්ගයන්ට අයත් ඉතා වටිනා සපත්තු කුට්‌ටම් ගණන දහසකට වැඩිය. ලොව සුප්‍රකට චිත්‍ර ශිල්පීන් වන වැන් ගෝ, මයිකල් ඇන්ජිලෝ, සිෂානේ, රෆායල් යන චිත්‍රශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඉතා අගනා චිත්‍ර කීපයක්‌ද ඇය සතුව තිබිණි. රිදී මුවා පීරිසි, කෝප්ප, ඇතුළු ගෘහ භාණ්‌ඩ රාශියක්‌ද, රන් මුවා වළලු, මාල, කරාබු කුට්‌ටම් ඇතුළු දියමන්තියෙන් නිමකරන ලද හිස්‌ පලඳනා ද ඇයගේ පිලිපීනයේ නිවසේත් ඇමෙරිකාවේ මාලිගයක්‌ වැනි මන්දිරයේත් තැන්පත් කර තිබිණි.

මාකෝස් අක්මා රෝගි තත්වයකින් සහ වකගඩු අකර්මණ්‍යවීමකින් පෙළුණු බැවින්, අවසන් කාලයේ නොනිල මට්ටමෙන් රට පාලනය කරන ලද්දේ සිය බිරිඳ වූ ඉමෙල්ඩා මාකෝස් යැයි පැවැසෙයි. ජනතාව සමච්චලයට ලක් කරමින් සුර සැප විඳි කාන්තාවක් ලෙස ඇය පසුව ලොව පුරා ප්‍රචලිත විය. ජනතාව විසින් ජනපති මන්දිරය වටලන අවස්ථාවේදී ඇය විසින් පාවිච්චි කරන ලද සපත්තු කුට්ටම් 2700 ක් සොයා ගත හැකි වීමෙන් ඔවුන්ගේ ජීවිත ගැන කදිම ලෙස වටහා ගත හැක. සිය පාලනය තුළ දරාගත නොහැකි ලෙස ජනතාවට පීඩනය එල්ල වූ අතර මාකෝස් ගේ අවසානය ද ඒ හා සමගාමීව ආරම්භ විය. ජනතාව පීඩනය දරාගත නොහැකි වූ අවස්ථාවේ ඇති එකම විසඳුම කැරලි ගැසීමය; ජනතාව යුක්ති සහගත පාලනයක් වෙනුවෙන් සටන් වැදීමය. එය පිලිපීනයේදී මාකෝස්ගේ කෲර පාලනයට එරෙහිවද සිදු වුයේ ඉතිහාසයේ සිදුවීම් නැවත නැවතත් සමගාමීව සිදුවන බව පසක් කරමිනි‍. අවුරුදු විස්‌සක්‌ රට පාලනය කළ මාකෝස්‌ ජනතා බලවේගය විසින් 1986 දී බලයෙන් පහකරන ලදී. බලයෙන් පහ වන විට මාකෝස්‌ යුවළ සතුව තිබුණු ධනස්‌කන්ධයේ වටිනාකම ඩොලර් බිලියන දහයක්‌ බව රහස්‌ පොලිසිය අනාවරණය කරගෙන කිබුණි.

යහපාලනය පිළිබඳ ජනාධිපති කොමිසම විසින් සපයන ලද ලේඛන මූලාශ්‍රවලට අනුව මාකෝස් පවුල පිලිපීනයේ මහ බැංකුවෙන් පවා මුදල් අයුතු ආකාරයට ඉවත් කර ගෙන තිබූ බව යහපාලනය පිළිබඳ ජනාධිපති කොමිසම අනාවරණය කරගෙන ඇත. කොරසෝන් අකිනෝ හා සැල්වදෝර් ලොරෙල් ගේ නායකත්වයෙන් 'ජනතා බලය' ව්‍යාපාරය ගොඩනගමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදියට කැඳවීය. එම උද්ඝෝෂණ රැල්ලට බියවී මාකෝස් සහ බිරිඳ ඇමෙරිකාවෙන් උදව් ඉල්ලා සිටියේය.

ඇමෙරිකා ජනාධිපති රොනල්ඩ් රේගන් මාකෝස්ගේ හොඳ මිතුරකු විය. ඒ අනුව, 'පම්පන්ගා' නම් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරට රැගෙන ආ මාකෝස් ඇතුළු සහචරයන් පසුව හෙලිකොටර් හතරකින් ඇමෙරිකාවේ ගුවාම් ගුවන් තොටුපළට රැගෙන ආවේය. එහි සියලුම රහස්‍යම වැඩ කටයුතු සි.අයි.ඒ. සංවිධානය විසින් සැලසුම් කර තිබුණි. එක්සත් ජනපද රේගු වාර්තාවලට අනුව රත්රන් පොලු සුට්කේස් 24ක්, දියමන්ති හා ආභරණ සහිත බෑග්, ඩොලර් මිලියන ගණන් වටිනා තැන්පතු, රැගෙන විත් තිබුණි. රොනල්ඩ් රේගන් විසින් එම අති විශාල ධන්ස්කන්ධයද සමග ඇමෙරිකාවට අයත් හවායි දුපතේ ඔහු මිය යන තුරු නිරුපද්‍රිතව සිටීමට අවසර දී තිබුණි. මාකෝස් විසින් 'රූකඩයක්' යැයි නිතර හඳුන්වා දෙනු ලැබූ, නීනෝයිගේ බිරිඳ කොරාසන් 'කෝරි' අකිනෝ ජනාධිපති ධුරයට පත්වූවාය.

ඇමෙරිකාවට පැමිණ සති දෙකක් ගතවෙද්දී, මාකෝස් පවුලට සහ ඔවුන්ගේ හිතවතුන්ට හවායි, සැන් ෆ්රැන්සිස්කෝ සහ නිව්යෝක් යන නගරවල අපරාධ සහ සිවිල් නඩු සිය ගණනක් පවරනු ලැබුණි. මාකෝස් ජනාධිපති  රේගන්ගෙන් ඉල්ලා සිටියේ, මැදිහත් වී එම නඩු විභාග නවත්වන ලෙසය. එය සාර්ථක නොවිණි. 1989 ජනවාරි 15 වැනිදා, නියුමෝනියාව වැළඳී රෝහල් ගත කළ මාකෝස් ශල්‍යකර්ම කීපයකට ලක් කෙරුණු බව පැවැසෙයි.

මාකෝස්, මරණ මංචකයේ සිටිද්දී, පිලිපීන උප ජනාධිපති ලෙස කටයුතු කරන්න වූ සැල්වදෝර් ලෝරල් මාකෝස් බැලීමට පැමිණියේය. ලෝරල් සමඟ මාකෝස් කතාබහ කළේ සිය අවසන් කටයුතු සම්බන්ධවය. තමන් අයථා ලෙස උපයාගත් ධනයෙන් 90% ක් පිලිපීන ජනතාවට ආපසු ලබා දීමට මාකෝස් එකඟත්වය පළ කළේ, තමා මියගිය පසු දේහය තම පිලිපීනයේ මිහිදන් කළ තම මවගේ සොහොන අසල මිහිදන් කිරීමට ඉඩ දෙන්නැයි යන ඉල්ලීම මතය. කෙසේ නමුත් අකිනෝ රජය ඊට විරෝධය දැක්වීය. 72 වැනි උපන්දිනයට දින 17කට පසු වකුගඩු, හෘදය සහ පෙණහලු ආබාධ හේතුවෙන්, 1989 සැප්තැම්බර් 28 දින පෙ.ව. 12:40 ට හොනලූලූ හි ශාන්ත ෆ්‍රැන්සිස් වෛද්‍ය මධ්‍යස්ථානයේදී මාකෝස් අභාවප්‍රාප්ත විය. මාකෝස්‌ගේ මරණයෙන් පසුව දැනට ඉතිරිවී සිටින්නේ ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා, පුත් බොංබොං සහ දියණිය ඉමී පමණය. දැනට ඉමී පිලිපීනයේ ප්‍රාදේශීය ආණ්‌ඩුකාරවරියක ලෙසද බොංබොං සෙනෙට්‌ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි. රාජ්‍ය නායකයකු සහ බිරිඳ එක් වී සිදු කළ විශාලතම සොරකම එසේත් නැතිනම් මහජන මුදල් කොල්ලය සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වී සිටින්නේ ද ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ ඉමෙල්ඩා මාකෝස් යැයි ද පැවැසෙයි.

මෙම 2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය පැවැත්වෙයි. ඒ එලැඹෙන මැයි මාසයේය. මැතිවරණ සටනේ තෙවැනි අපේක්ෂකයා බවට පත් වී සිටින්නේ ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් සහ ඉමෙල්ඩා මාකෝස්ගේ පුත්‍රයා බොංබොං ය. පිලිපින මාධ්‍ය බොංබොං හඳුන්වා දෙන්නේ 'හිටපු ආඥාදායකයා'ගේ පුත්‍රයා යනුවෙනි. බොංබොං දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහු වටා ද මේ වන විට ජන බලයක් නිර්මාණය වී අවසන්ය. පිලිපීනය මුහුණ දී ඇති සෞඛ්‍ය ආර්ථික අර්බුදවලට පිළියම් යෙදීමටත්, රට ශක්තිමත් කිරීමටත් තමන් සූදානම් යැයි 64 හැවිරිදි බොංබොං පවසා තිබේ.

ඇය නමින් ඉමෙල්ඩා මාකෝස් ය. පිලිපීන සමූහාණ්ඩු රාජ්‍යයේ ජනාධිපති ආර්යාව වූ ඇය රූප සුන්දරියකි. පිලිපීනයේ ලෙයිට් දූපතේ ඉතා දිළිඳු පවුලක උපත ලත් ඉමෙල්ඩා, කුඩා වියේ සිටම මනා රූ සපුවකින් හෙබි දැරියක වූවාය. ඉමෙල්ඩාගේ පවුල දිළිඳු පවුලක් වුවත්, ඉහළ ප‍ෙළේ සම්භාවනීයත්වයට පත් ඥාතීන් ඔවුන්ගේ පෙළපතේ සිටි බව පැවැසෙයි. කුඩා කල සිටම ඉහළ සමාජයට පා තැබීමේ ආශාවක් ඉමෙල්ඩා තුළ පැවැතියේ එබැවිනි. කුඩා නිවසක පදිංචිව සිටි ඉමෙල්ඩා පාසල් ගියේ දෙපයට සපත්තුවත් නොමැතිවය. ඉතා අපහසුවෙන් යුතුව ජීවන ගමන ඇරඹූ ඉමෙල්ඩාට තම ජීවිතය ජය ගත හැකි එකම මග තම රූපය බව අවබෝධකර ගත්තාය. පාසලේ 'රූපිකාවක්' ලෙස නමක් දිනා සිටි ඇය සිය රැව කෙරෙහි මහත් උනන්දුවක් දක්වන්න වූවාය. එරට සමාජ පසුබිම අනුව ඉතා ළාබාල වියේදීම පියා විසින් ඇයට විවාහ යෝජනාවක් ගෙනා අතර, ඇය ඊට විරෝධය පළ කරමින් මැනිලා අගනුවරට පලා ගියාය. එහිදී කුලී රැකියාවක් සොයා ගැනීමට උත්සුක වූ 16 හැවිරිදි ඇයට බැංකුවක පිරිසිදු කරන්නියක ලෙස රැකියාවක් ලැබුණි. ඉමෙල්ඩාට වාසනාව පෑදුනේ ඒ අනුවය.

සඟරාවක ඡායාරූප ශිල්පියකුගේ අවධානයට ඉමෙල්ඩාට ලක්වූවාය. ඒ අනුව ආදරවන්තයන්ගේ දිනය දා පළ කෙරුණු යොවුන් සඟරා කීපයක කවරය හැඩ කළේ ඉමෙල්ඩාය. එක් රැයකින් ඉමෙල්ඩා ප්‍රබල චරිතයක් බවට පත්විය. සමාජයේ විවිධ තරාතිරම්වල අය ඇසුරු කිරීමටද ඇයට අවස්ථාව ලැබුණි. එවැනි එක් සාදයකදී ඇය බෙනිග්නෝ අකිනෝ (නීනෝයි) නමැති තරුණ දේශපාලනඥයා දැන හඳුනා ගෙන පසුව ඔහු සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගත්තාය. කෙසේ නමුත් ඇයගේ සමාජ තත්ත්වය අවබෝධකර ගත් අකිනෝ ඇය අතහැර දැමුවේය. දුකටත් කෝපයට පත් ඉමෙල්ඩා, අකිනෝගෙන් පළිගැනීමට තීරණය කළේ යැයි ද පැවැසෙයි. 1983 අගෝස්තු 21 ඇය එම පළිගැනීම සම්පූර්ණ කළාය.

මැනිලා රූ රැජින තරගයට ඉමෙල්ඩා ඉදිරිපත් වූවාය. ඇය එම තරඟයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ මැනිලා උප නගරාධිපති ආසිනියෝ ලාසොටා සමඟ සම්බන්ධයක් ඇති කර ගනිමින් යැයි ද පැවැසෙයි. ඉන්පසු ඇය පිලිපීනයේ විශාල ධනවතෙකු වූ ඇරිස්ටන් නැක්සිල්ගේ අනියම් බිරිය බවට ද පත් වූවාය. ඒ අනුව ඉහළ සමාජයේ බොහෝ දෙනකු ඇසුරු කිරීමට ඉමෙල්ඩාට අවස්ථාවක් ලැබුණු අතර, දේශපාලන ලෝකයේ නැගී එන තරුවක් වූ ෆර්ඩිනන්ඩ් මාකෝස් හඳුනාගන්නට අවස්ථාවක් උදා විය. ඉමෙල්ඩා කෙරෙහි වශී වූ මාකෝස් ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේය. පිලිපීන සංස්කෘතියට අනුව මේ වන විටත් මාකෝස් විවාහ වී සිටියේය. ඉමෙල්ඩා ඇගේ දෙවැනි බිරිය වූවාය. පළමු බිරිඳට දරුවන් සිවු දෙනකු විය.

පිලිපීනයේ ජනාධිපතිවරණයට තරග කළ මාකෝස් එයින් ජයගෙන මැනිලා ජනපති මාලිගයේ පදිංචියට ගියේය. ජනාධිපති ආර්යාව වශයෙන් ඉහළම තැනට නැගුණු ඉමෙල්ඩා තම ජීවන අපේක්‍ෂාව ඉටුකර ගත්තාය. අති සුඛෝපභෝගී ජීවිතයකට හුරු වූ ඇය කිසිදු පැකිළීමකින් තොරව බදු ගෙවන පිලිපීන ජනතාවගේ මුදල් පෙසෝ කෝටි ගණන් අවභාවිත කළාය. පෞද්ගලික සුඛවිහරණය සඳහා ජාතික ධනය වැය කිරීමට ඇයට බියක් නොතිබුණි. නොයෙක් දූෂණ, වංචා අපචාර හා මුදල් අවභාවිත කිරීම් ආදී ක්‍රියා නිසා මාකෝස් ජනතා අප්‍රසාදයට පත් විය.
පිලිපීන ව්‍යවස්ථාව අනුව මාකෝස්ට නිලය දැරීමට හැකියාව තිබූ කාලසීමාව ඉක්ම ගියේය. ඒනිසා ඉමෙල්ඩා එම තනතුරට පත් කර ගැනීමට මාකෝස්ට අවශ්‍ය විය. කෙසේ නමුත්, මහජන මුදලින් නිරන්තරයෙන්ම විදේශ රටවල සංචාරය කරමින් සිටි ඇයට නියමිත අවස්ථාවේදී නාම යෝජනා භාර දීමට නොහැකි විය. ජනතාව මර්දනය කරමින්, දිගටම ධුරයේ සිටීමට මාකෝස් හමුදා නීතිය ගෙනාවේ ද මේ නිසාය.

මාකෝස්ගේ දූෂිත පාලනයට විරුද්ධව දේශපාලන පක්‍ෂ සහ ජනතාව උද්ඝෝෂණ විරෝධතා පැවැත්වූ අතර මාකෝස් හමුදාව යොදවා අවි බලයෙන් ඒවා මර්දනය කිරීම ආරම්භ කළේය. ඔහුගේ හොඳම හිතවතා ලෙස සමීපව කටයුතු කළ ඇමෙරිකා එක්සත් ජනපද‍ෙ පවා ඔහු අතහැර දමා වහාම මැතිවරණයක් පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට බලපෑම් කළේය. ආපසු මැනිලා නුවර ගුවන් තොටුපොළට පය තැබූ සැණින් විපක්‍ෂ නායක බෙනිග්නෝ අකිනෝ (නීනෝයි) වෙඩි උණ්ඩයක බිලි වූයේය. එම ඝාතනය සැලැසුම් කළේ සහ ඊට අණ දුන්නේ ඉමෙල්ඩා යැයි පැවැසෙයි. ඉන්පසු දේශපාලන කරළියේ මාකෝස් විරෝධයට පණ දුන්නේ බෙනිනෝ අකිනෝගේ වැන්දඹුව කොරසාන් අකිනෝය.

1986 මැතිවරණයේ දී කොරසාන් අකිනෝ ජයග්‍රහණය ස්ථිර විය. මැනිලා ජනපති මාලිගය ලක්ෂ ගණනක් ජනතාව විසින් වටලනු ලැබීය. මාකෝස් යුවළට කර කියා ගත හැකි කිසිවක් නොවීය. යුවළ ඇමෙරිකාවට පලා ගියේ ඒ අනුවය. ජනතාව මාලිගයට කඩා වැදුණු එය මංකොල්ල කෑහ. මාලිගය තුළ ඇති දේ මාධ්‍ය හරහා දකින්නට ලැබුණි. ඉමෙල්ඩා මාකෝස් තම සුඛ විහරණය සඳහා මහජන මුදල්වලින් කොපමණ ධනස්කන්ධයක් වැය කර ඇත්දැයි පිලිපීන වැසියන්ට පමණක් නොව මුළු ලෝකයටම දැක ගත හැකිවිය. ඇගේ විලාසිතා කාමරය පිරී තිබුණේ ඇඳුම් පැලඳුම්වලිනි. එහි වටිනා සපත්තු කුට්ටම් 3000කට අධික ගණනක් තිබුණි. වටිනා ලොම් කබා තැන්පත් කළ රාක්ක 35ක් විය. එමෙන්ම අධික මිල ගණන්වලින් යුතු තිසර පට පන්සියයකට අධික විය. ඩොලර් දහස් ගණනකට මිලට ගත් කාන්තා ඇඳුම් 1500ක් හා නොයෙක් මෝස්තරවල අත්බෑග් 1500ක් තිබුණි. මෙය ලොව ජනමාධ්‍යයන්ට දින ගණනාවක් පුරා රසවත් පුවත් මැවීමට හේතුවක් විය.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS