රුසියාවේ ’මළ අත’



මුළු ලොවම එක හඬින් විරුද්ධ වෙද්දී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. ඒ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව ආරම්භ වුණු රුසියානු යුක්රේන යුද්ධයේ අවසානයක් තවමත් පෙනෙන්න නැත.

දෙරටේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්වෙද්දී පවා රුසියානු හමුදාව යුක්රේනයේ ප්‍රධාන නගර වට කර ඒවාට පහර දෙයි. සිවිල් වැසියන්ට එම නගරවලින් පිටවී යෑමට සටන් විරාම ක්‍රියාත්මක වෙයි. ජනපති පුටින් යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයවීමක් කළේ යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සමීප වීමත්, නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීමත් නිසාය.

ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට සහාය දක්වමින් කියා සිටියේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ඉල්ලීමට අයිතියක් ඇති බවත්, රුසියාවට ඊට විරෝධය දැක්විය නොහැකි බවත්ය. ඇමෙරිකාවේ මෙම ප්‍රකාශයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිරි ගැන්විණි. යුක්රේන ජනාධිපතිවරයා රුසියාවට අභියෝග කළේ ඒ අනුවය. ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික රටවල් හමුදා මැදිහකත් වීමක් කරමින් රුසියාවෙන් තමන් ආරක්ෂා කර ගනීවි යැයි යුක්රේන ජනපති විශ්වාස කළේය. ඒත් එවැන්නක් සිදු නොවිණි.

සිදුවූයේ බටහිර රටවල් රුසියන් ජනාධිපති පුටින්ට සහ රුසියාවට සම්බාධක පැනැවීමය. සම්බාධක පැනැවීම සිදු කර ඇත්තේ රුසියානු ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින්ය. එම සම්බාධක හමුවේ මේ වනවිට, රුසියන් යුක්රේන යුද්ධයේ බලපෑම ලොවට දැනේනන පටන් ගෙන ඇත. ලෝකය ආර්ථික ආහාර සහ බලශක්ති අර්බුදයකට පිය නගමින් සිටී. රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුවත් අසන්න ලැබෙන්නේ බටහිර මාධ්‍ය හරහා පමණි. එම පුවත් අනුව, නපුරා පුටින්ය. බටහිර මාධ්‍ය සැමවිටම පුටින් විවේචනය කරයි. ඔහුට දොස් නගයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දිගින් දිගටම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය දෙයි. පසුගිය දා බයිඩන් මැදිහත් වී, ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) කැමැති කරවා ගනිමින්, රුසියන් ආක්‍රමණය හේතුවෙන් අසරණ වුණු යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 13.6 ක් ආධාර පැකේජයක් ලබා දීමට කටයුතු කළේය. දිගින් දිගටම යුක්රේන හමුදාවට ඇමෙරිකාවෙන් අවි ආයුධ ලැබීම ද සිදුවෙමින් පවතී. අවි ආයුධ ලබා දීම සහ සම්බාධක පැනැවීම හැර, සෘජුව රුසියාව සමඟ හැප්පීමට නොහැකි බවත්, එසේ කළහොත් රුසියානු යුක්රේන අර්බුදය, තෙවැනි ලෝක යුද්ධය දක්වා දුරදිග යනු ඇති බවත් බයිඩන් පෙන්වා දී ඇත. එම තෙවැනි ලෝක යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇති බවත් බයිඩන් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාව උදා විය. සෙලෙන්ස්කී ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතුවේ කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමෙන් අනතුරුවය. යුක්රේන ජනාපධිති සෙලෙස්කීට ඇමෙරිකන් කොංග්‍රමස් මණ්ඩලය මෙන්ම කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව උදා වීම සුවිශේෂී සිදුවීමක් බව බටහිර මාධ්‍ය වාර්තා වාර්තා කළේය.

රුසියන් හමුදා විසින් වට කරනු ලැබූ යුක්රේනයේ කීව් අගනුවර සිටින ජනාධිපති සෙලෙස්කී, කොංග්‍රස් මණ්ඩලය ඇමැතුවේ වීඩියෝ තාක්ෂණයෙනි. යුක්රේන වැසියන් දිනපතා 9/11 ප්‍රහාරයකට ලක් වෙනවා යැයි යුක්රේන ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේ යුක්රේන වැසියන් රුසියන් ප්‍රහාර හමුවේ මියයන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප ද පෙන්වමිනි.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පියවර ගැනීමත් සමඟ රුසියාවත් ඇමෙරිකාවත් අතර පැවැති සියලු සබඳතා බිඳ වැටුණු බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

ඇමෙරිකන් ජනාපධිති බයිඩන්, පුටින් යුද අපරාධකාරයකු යැයි පැවැසූ පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ මෙම ප්‍රකාශය රුසියානු ජනාධිපති පුටින්ගේ හේතුවක් වී ඇති බව ද බටහිර මාධ්‍ය පෙන්වා දී තිබේ. රුසියානු ජනාධිපති පුටින් ‘යුද අපරාධකාරයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ, යුක්රේනයට කිසිදු සම්බන්ධයක් නැති උත්සවයකට සහභාගී වී සිටිද්දී, මාධ්‍යවේදීන් පිරිසක් ඔහු වට කරගත් අවස්ථාවේදීය. බයිඩන් එසේ පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඔහුගේ සිතට නැගුනු සිතුවිල්ලක් අනුව යැයි ධවල මන්දිරය පසුව පැහැදිලි කිරීමක් කළේය.

කෙසේ නමුත්, බයිඩන්ගේ එම ප්‍රකාශ හේතුවෙන්, රුසියාවත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය තව තවත් උත්සන්න වනු ඇතැයි බීබීසී පුවත් සේවය පවසා තිබුණි. තමන් යුද අපරාධකරුවකු ලෙස හැඳින්වීමට බයිඩන් පියවර ගැනීම සමාව දිය නොහැකි වරදක් යැයි රුසියන් ජනාධිපති පුටින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ වනවිට රුසියන් ජනාධිපති පුටින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරීන්ටත්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු කැනඩා රජයේ ඉහළ නිලධාරීන්ටත් සම්බාධක පැනැවීමට පියවර ගෙන ඇත. සම්බාධක පනවා ඇත්තේ ‘එකට එක’ කිරීමක් ලෙසය.

යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන්, ඊට විරෝධය පෙන්වමින්, ඇමෙරිකාව, කැනඩාව පමණක් නොව, බටහිර රටවල් සහ බටහිර නොවන රටවල් ද රුසියාවට එරෙහිව දැඩි සම්බාධක රැසක් පනවා තිබේ. සම්බාධක අනුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හෝ සම්බාධක පැනැවූ සෙසු රුසියන් රජයේ නිලධාරීන්ට හෝ රුසියාවේ සිට වෙනත් විදේශයකට යෑමට නොහැකි වෙයි. රුසියන් ජනාධිපති පුටින් සම්බාධක පැනැවූ පුද්ගලයන් අතර ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, සී.අයි.ඒ. ප්‍රධානී විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් ද සිටින බව ද වාර්තා වේ. රුසියාව පෙරළා පැනැවූ සම්බාධක අනුව, මොවුන් කිසිවකුට රුසියාවට පැමිණීමට නොහැකි වනු ඇත.

තෙවැනි ලෝක යුද්ධය තෙක් රුසියානු යුක්රේන අර්බුදය උත්සන්න වුවහොත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එරෙහිව රුසියාව ඔවුන් සතු න්‍යෂ්ටික මිසයිල යොදා ගනු ඇත. එවිට ඇමෙරිකාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිවලින් පහර දෙනු ඇත. සමහරවිට එය ලෝකයේ අවසානය ද වනු ඇත. එය එසේ නොවිය යුතුය යන්න අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතුය. ඇමෙරිකන් මිසයිල හමුවේ අඩපණ වුවත්, රුසියාවට අවසන් තුරුම්පුවක් ඇතැයි පැවැසෙයි. එම තුරුම්පුව, ලෝකය අවසන් කරන ආකාරයේ ප්‍රබල අවියකි. මේ අවිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ඩෙඩ් හෑන්ඩ්' යනුවෙනි. එහි සිංහල අර්ථය 'මළ අත' යන්නය.

රුසියානුවන්ගේ 'මළ අත' කුමක්දැයි වටහා ගැනීමට නම්, අතීතයට යා යුතුය. නිරවි යුද සමයට යා යුතුය. නිරවි යුද්ධය යනු එකිනෙකාට තම තමන්ගේ යුද ශක්තිය පෙන්වමින්, තර්ජනය කර ගනිමින් ඇමෙරිකාව සහ එදා සෝවියට් සමූහාණ්ඩුව අතර පැවැති බල අරගලයයි. අතීතයේ යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. එදා ඇමෙරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව ලෝකයේ ප්‍රධාන බල කඳවුරු ලෙස බෙදී වෙන් වෙද්දී, දෙදෙනාගේ කිසිවකුටවත් සහාය නොදක්වා, කිසිවකුගේ පැත්තක් නොගෙන සිටි රටවල් ද තුන්වැනි ලෝකයේ රටවල් බවට පත්විය.

ඇමෙරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව එකිනෙකාට තර්ජනය කර ගනිමින්, අවි අමෝරා ගනිමින්, තම යුද ශක්තිය වර්ධනය කර ගන්න විය. එක් පාර්ශ්වයක් න්‍යෂ්ටික අවි සියයක් නිපදවුවහොත්, අනෙක් පාර්ශ්වය ඊට නොදැවෙනි ලෙස න්‍යෂ්ටික අවි දහසක් නිපදවන්න විය. ඇමෙරිකාව ඔවුන්ගේ න්‍යෂ්ටික මිසයිල, සෝවියට් සමූහාණ්ඩුවට තර්ජනයක් වන ආකාරයට යුරෝපයේ ස්ථානගත කළ විට, සෝවියට් සමූහාණ්ඩුව ඔවුන්ගේ මිසයිල කියුබාවේ ස්ථානගත කරන්න විය. 80 දශකය වනතුරුම ඇමෙරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව අතර ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් හට ගැනීමේ අවදානමක් පැවැතිණි.

රොනල්ඩ් රේගන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූ විට සියල්ල වෙනස් විය. සෝවියට් සමූහාණ්ඩුය බය කර ගනිමින්, ලෝක බලවතා ඇමෙරිකාව යැයි කීමට රේගන් අපූරු අදහසක් ඉදිරිපත් කළේය. රේගන්ගේ අදහස වූයේ උපාය මාර්ගික ආරක්ෂිත වැඩසටහනකි. කෙටියෙන් එය 'එස්.ඩී.අයි.' යනුවෙන් හැඳින්වෙයි. පොදුවේ මෙම ආරක්ෂක වැඩපිළිවෙළ හැඳින්වෙන්නේ 'ස්ටාර්වෝර්ස්' යනුවෙනි. අභ්‍යවකාශයේ මිසයිල ආරක්ෂක පද්ධතියක් ස්ථානගත කිරීම මෙම ආරක්ෂක පද්ධතියේ සැලැස්මය. සෝවියට්වරුන් ඇමෙරිකාවට න්‍යෂ්ටික මිසයිල එල්ල කළොත්, කල්වේලා ඇතිව එම මිසයිලවලට පහර දී විනාශ කිරීම 'ස්ටාර්වෝර්ස්' පද්ධතියේ අරමුණ විය.

ජනාධිපති රේගන් සිතූ අයුරින් ම සෝවියට්වරුන් බියෙන් තැති ගැන්වීමට 'ස්ටාර්වෝර්ස්' සමත් විය. ඇමෙරිකාවට එල්ල කරන මිසයිල ප්‍රහාර සැණින් ව්‍යර්ථ කර, පෙරළා සෝවියට් සමූහාණ්ඩුවට පහර දීමට ඇමෙරිකාවට ශක්තිය තිබුණි. එවිට සැමවිටම අවසන් ප්‍රහාරය එල්ල කරන්නේ තමන් නොව ඇමෙරිකාව බව සෝවියට්වරුන්ට වැටහුණි. එහෙත්, පරාජය බාර ගැනීම සෝවියට්වරු ප්‍රතික්ෂේප කළහ. අවසන් විකල්පය ලෙස ඔවුන් ද ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කළේය. එය 'මෙට්වායා රූකා' යනුවෙන් නම් කළේය. 'ඩෙඩ් හෑන්ඩ්' (මළ අත) යනු එයයි. මෙය මළ අත යනුවෙන් හැඳින්වෙන්නේ සියල්ල විනාශ වූ පසු කිසිවකු නොමැතිව මෙම ආරක්ෂක පද්ධතිය පණ ගැන්වෙන බැවිනි.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු අද වනවිට 'මෙට්වායා රූකා' රුසියන් හමුදාව යටතේ පවතින බව පැවැසෙයි. එසේ වුවත්, රුසියාව මේ සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක නිල වශයෙන් ප්‍රකාශයක් කර නැත. එසේ වුවත් 'මෙට්වායා රූකා' සැබෑවක් යැයි කීමට හැකි තොරතුරු රැසක් හමුවී ඇතැයි ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කර තිබේ.  'මෙට්වායා රූකා' යනු සුවිශේෂී ආකාරයේ පරිගණක පද්ධතියකි. මෙය ඩිජිටල් පද්ධතියක් නොවන නොවෙයි. එහෙයින්, බාහිරින් කිසිවකුට මෙම පද්ධතියට ඇතුළු වී එය අඩපණ කිරීම කළ නොහැකිය. 'මෙට්වායා රූකා' පද්ධතිය, රුසියාව පුරා පිහිටි න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කළ හමුදා කඳවුරු සමඟ සම්බන්ධ වී ඇතැයි පැවැසෙයි.

'මෙට්වායා රූකා' හැමවිටම නිද්‍රාශීලිව පසුවෙයි. හදිසි අවස්ථාවකදී රුසියානුවන්ට මෙය පණ ගැන්වීම කළ හැකිය. එසේ පණ ගන්වා කිසිවක් නොකර සිටියොත් මිනිත්තු 15 කදී 'මෙට්වායා රූකා' හෙවත් 'මළ අත' සිය නියමිත කාර්යය සිදු කරනු ඇතැයි පැවැසෙයි. එනම්, රුසියාවේ සියලු නෂ්ටික මිසයිල පණ ගන්වා ඒවා නියමිත ඉලක්කයට යැවීමය. පහර දීමක් අවශ්‍ය නොවන්නේ නම්, මිනිත්තු 15 යෑමට පෙර 'මෙට්වායා රූකා' අක්‍රිය කරමින් යළි නිද්‍රාශීලී තත්ත්වයට පත් කළ යුතුය.

එම මිනිත්තු 15 ක කාලයේ 'මෙට්වායා රූකා' රුසියානු හමුදාවේ ප්‍රධාන අණදෙන මූලස්ථානය සමඟ නිරන්තරයෙන්ම සම්බන්ධ වෙයි. රට පුරා ඇති සන්වේදකවලින් ලබා ගන්නා දත්ත සියල්ල විශ්ලේෂණය කරයි. වායු පීඩනය සහ භූමියේ සිදුවුණු කම්පනයන් පිළිබඳ සොයා බලයි. ඊට අමතරව අවට පරිසරයේ විකිරණශීලීබව අධ්‍යයනය කරයි. සරලව කීවොත් 'මෙට්වායා රූකා' පද්ධතිය සොයා බලන්නේ රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවාද යන්නය.

න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වී ඇතැයි තහවුරු වීමත් රුසියානු හමුදා ප්‍රධාන අණ දෙන මූලස්ථානය සමඟ සම්බන්ධ වීමට නොහැකි වීමත් සමඟ 'මෙට්වායා රූකා' තනිවම තීරණය ගනී. රුසියාව සතු සියලු න්‍යෂ්ටික මිසයිල සතුරු ඉලක්ක වෙත යැවීම සිදුවෙයි. ඒ වනවිට න්‍යෂ්ටික ප්‍රහාරයකින් රුසියාවේ සියලු දෙනා මියගොස් සියල්ල විනාශ වුවත්, ආරක්ෂිතව ස්ථානගත කර ඇති 'මෙට්වායා රූකා' සිය ප්‍රහාරය එල්ල කරනු ඇත.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS