රුසියාව යුක්රේනය අල්ලයි



පසුගිය කාලය පුරාවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ මුවින් අසන්න ලැබුණේ එක් දෙයක් පමණි. 'රුසියාව යුක්රේනයට පහර දී යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා.

' 'පෙබරවාරි දෙවැනි හෝ තුන්වැනි සතිය වෙද්දී, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කරාවි', 'ඇමෙරිකානුවන් යුක්රේනයට යෑමෙන් වළකින්න; යුක්රේනයේ සිටින ඇමෙරිකානුවන් වහා පිටවෙන්න' මේ ජනපති බයිඩන්ගේ අනාවැකි සහ අනතුරු ඇඟවීම්ය. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ අනාවැකි කීවේත් අනතුරු ඇඟවීම් කළේත් නිකම්ම නොවෙයි; ලෝකයේ 'සුපිරිම' බුද්ධි සේවාව ලෙස සැලකෙන ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය.

ඇමෙරිකා ජනාධිපති බයිඩන්ට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිතුරු දුන්නේ 'රුසියාවට යුද්ධයක් ඕනෑ නැහැ', 'යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් රුසියාවට නැහැ', 'යුද්ධයක් ඕනෑ වී ඇත්තේ ඇමෙරිකාවට' ආදී වශයෙනි. කෙසේ නමුත් ඒ වනවිටත් 2014 වසරේ සිට පැවැති අර්බුදයක් කෙමෙන් කෙමෙන් ඔඩු දුවමින් තිබුණි.

පසුගිය සදුදා (21) නැගෙනහිර යුක්රේනයේ, ‘ඩොන්බාස්’ යන නමින් හැඳින්වෙන පළාතේ යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන ප‍්‍රදේශ‍ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති පුටින් පැවැසුවේ කවුරැත් පුදුමයට පත් කරමිනි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන නගර අයත් මෙම ප්‍රදේශ ජනාධිපති පුටින් පිළිගත්තේ ‘ඩොනෙස්ක් ජනරජය’ සහ ‘ලුහාන්ස්ක් ජනරජය’ යනු‍වෙනි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් නගර සහ ඒවා අයත් පළාත් 2014 වසරේ සිට රුසියන් හිතවාදී යුක්රේන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ පැවැතිණි.

රුසියාවේ සහාය මෙම බෙදුම්වාදීන්ට පමණක් නොව, එම පළාත්වල රුසියන් සම්භවයක් ඇති වැසියන්ට සහ රුසියන් බස කතා කරන වැසියන්ට ද හිමිවෙයි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් නගර අයත් පළාත් එකට ගත් කළ එය යුක්රේනයෙන් තුනෙන් එකක ප්‍රදේශයක් යැයි ද පැවැසෙයි. ඩන්බාස් පළාතේ සෙසු ප්‍රදේශ සහ නගර යුක්රේන රජය සහ හමුදාව යටතේ පවතී. යුක්රේන රජය සහ හමුදාව රුසියන් සම්භවයක් ඇති වැසියන්ට කෙණෙහිලිකම් කරන බවට රුසියාව මෙන්ම බෙදුම්වාදී නායකයෝ ද චෝදනා නගති.

යුක්රේන හමුදා නෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදීන් අතරේ සටන් විරාමයක් පැවැතියත්, එය මෙම පෙබරවාරි මාසය වෙද්දී එක්දහස් පන්සිය පනස්වාරයකට වඩා උල්ලංගනය වී ඇතැයි පැවැසිණි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් නගර අයත් පළාත් පමණක් නොව, සමස්ත ඩන්බාස් පළාතම බෙදුම්වාදීන් තමන්ගේ ග්‍රහණයට ගැනීමට අපේක්ෂා කරයි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍ය ලෙස පිළි ගැනීමෙන් පසු ජනාධිපති පුටින්, රුසියන් හමුදා බෙදුම්වාදීන් පාලනයට නතු ප්‍රදේශයට යැවීය. පසුගිය මාස කීපය පුරාවට, රුසියාව යුද්ධයකට සූදානමින් සිටියේය. ඒ බව දැන් පැහැදිලිය. ඇමෙරිකාවට අනුව යුක්රේනයට ඇතුළු වීමට සූදානමින් සිටි රුසියන් සොල්දාදුවන් ගණන 1,90,000 කි. නවීන පන්නයේ අවි ආයුධවලින් පමණක් නොව, හමුදා සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන රොහල් කදවුරු පවා යුක්රේන රුසියා දේශසීමාවේ ස්ථාපිත කර තිබුණි.

යුක්රේනයට හමුදා යවමින් රුසියන් ජනාධිපති පුටින් කීවේ, ඔවුන් සාම සාධක බලඇණියක් බවත්, යුක්රේනයේ රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කටයුතු කරනු ඇති බවත්ය. පුටින්ගේ මෙම සාම හමුදාව, යුක්රේනයට පැමිණියේ යුද ටැංකි සහ මිසයිල ප්‍රහාරක සන්නද්ධ රථවලිනි. ඒ අනුව, යුද්ධය ආරම්භ විය. පසුගිය මාස කීපය පුරා, රුසියන් හමුදා සෙබළුන් යුක්රේනය උතුරින්, නැගෙනහිරින් සහ දකුණින් වට කර තිබුණි. යුක්රේනය රුසියාවට මායිම් වන්නේ නැගෙනහිරිනි. උතුරින් යුක්රේනයට මායිම් වන්නේ බෙලරුසියාවය. බෙලරුසියාව රුසියාවේ සමීපතමයෙකි. රුසියන් හමුදා බෙලරුසියාව හරහා යුක්රේනයට පැමිණියේය. දකුණින් ඇත්තේ ක්‍රිමියා අර්ධද්වීපයයි. 2014 වනතුරු ක්‍රිමියාව යුක්රේනයේ කොටසක් වූ නමුත්, ක්‍රිමියාවේ යුක්රේන බෙදුම්වාදීන්ගේ සහාය ඇතිව රුසියාව ක්‍රිමියා අර්ධ ද්වීපය අල්ලා ගත්තේය. අදත් ක්‍රිමියා අර්ධද්වීපය ඇත්තේ රුසියාව යටතේය.

රුසියන් කතා කරන සහ රුසියන් සම්භවයක් ඇති වැසියන් පසුගිය වසර කීපය පුරාවට යුක්රේන හමුදාවේ අඩන්තේට්ටම්වලට ලක්වුණු බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට යුක්රේනයට හමුදා යැවීමට සිදුවුණු බවත් රුසියන් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය. පුටින් එවැනි ක්‍රියා මාර්ගයක් අනුමනය කළේ ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදී නායකයන් රුසියානු හමුදාවේ සහාය පැතූ බැවිනි. බෙදුම්වාදී නායකයන් චෝදනා නගා ඇත්තේ යුක්රේනය එම පළාත්වල රුසියන් සම්භවයක් ඇති වැසියන්ට සහ රුසියන් කතා කරන වැසියන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගෙන එම පළාත් යුක්රේනයට එක් කර ගැනීමට සූදානම් බව පෙන්වා දෙමිනි.

යුක්රේනය යනු අතිතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසකි. වර්තමානයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකි ප්‍රමුඛ රජය බටහිර හිතවාදී රජයකි. 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකයකු නොවුණත් යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයකි. ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් එක් වී, 1949 වසරේ දී නේටෝ සංවිධානය පිහිටුවා ගත්තේ ද සෝවියට් රුසියාවෙන් එල්ල වුණු තර්ජනවලට මුහුණ දීමේ අරමුණින්ය. රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයක් නිර්මාණය වීමට හේතුවක් වී ඇත්තේ ද යුක්රේනය නේටෝව සමඟ සමීපව කටයුතු කිරීමය. යුක්රේනය නේටෝව සමඟ සමීප සබඳතා පැවැත්වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියන් ජනපති පුටින් අවධාරණය කර තිබුණි. පුටින්ගේ ඉල්ලීම වී තිබුණේ යුක්රේනය සහ නේටෝව අතරේ ඇයිහොඳයිකම් නැවැතිවිය යුතු බවය. ඇමෙරිකාව සහ සෙසු යුරෝපා රටවල් ඊට විරෝධය දක්වන්නේ යුක්රේනය ස්වෛරී රාජ්‍යයක් බව රුසියාවට පෙන්වා දෙමිනි.

රුසියන් ජනාධිපති පුටින් කියා සිටියේ, යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත්වලට යැවුණු තම සාම හමුදා බලඇණි විශේෂ හමුදා මෙහෙයුමක නියැලෙන බවත්, ඔවුන් රුසියන් හිතවාදීන් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට සහාය පළ කරමින් යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් පහර දෙන බවත්ය. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි කෝපයට හේතුවක් විය.

තම හමුදා පහර දෙන්නේ යුක්රේන හමුදා ඉලක්ක අඩපණ කිරීමට බවත්, හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂක පද්ධති ආදිය ඉලක්ක කර ගනිමින් පමණක් පහර දෙන බවත් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් කිසිම ප්‍රහාරයක් එල්ල නොකරන බවත් රුසියන් ජනාධිපති පුටින් ප්‍රතිඥා දී තිබුණි. ආයුධ පැත්තකට දමා නිවෙස්වලට යන්නැයි රුසියන් ජනාධිපතිවරයා දිගින් දිගටම නැගෙනහිර යුක්රේනයේ යුක්රේන හමුදා සෙබළුන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණි. රුසියන් හමුදා පහර දෙද්දී, විදෙස් බලවේගයක් මැදිහත් වී, රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත්, දෙවරක් නොසිතා ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තමන් පසුබට නොවන බව ද රුසියන් ජනාධිපතිවරයා තර්ජනයක් ද කළේය. ඊයේ (24) සවස වනවිට යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඩ්යාන්ස්ක් යන නගරවලට යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන් රුසියන් හමුදාවේ සහාය ඇතිව මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි. යුක්රේනයේ කියේව් අගනුවරට ද ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේන හමුදාව ද පෙරළා රුසියන් හමුදා සහ බෙදුම්වාදීන් ඉලක්ක කරමින් ප්‍රති ප්‍රහාර එල්ල කළ බවත් රුසියන් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක යානා දෙකක් බිම හෙළීමට සමත් වුණු බවත් වාර්තා විය. රුසියන් සෙබළුන්ට ද එම ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි සිදුවුණු බව බටහිර හිතවාදී පුවත් සේවා පවසයි. මේ සම්බන්ධයෙන් රුසියාව කිසිවක් පවසා නැත. කෙසේ නමුත් දරුණු ගැටුම් ආරම්භ වූ බව විදෙස් වාර්තා පෙන්වා දුන්නේය. රුසියාව පහර දීම ආරම්භ කිරීමත් සමඟ යුක්රේන රජය චෝදනා නගන්න වූයේ රුසියාව සිය සමස්ත හමුදා ශක්තිය යොදා ගනිමින් යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළ බවය. වහා මැදිහත් වී, හැකි සෑම දෙයක්ම කරමින් යුද්ධය ඔඩුදිවීමට ඉඩ නොදෙන්නැයි යුක්රේන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් ද කළේය. රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා පහරදීම් ආරම්භ කළ අවස්ථාවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊට තදින්ම විරෝධය දැක්වීය. සියලුම ආකාරයේ සම්බාධක රුසියාවට පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් එම අවස්ථාවේදී පියවර ගත්තේය. යුක්රේනයේ සෑම ජීවිත හානියක් වෙනුවෙන්ම රුසියාවට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අනතුරු ඇගවීමක් ද කළේය‍.

'උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය' හෙවත් නේටෝවේ ප්‍රධානී ජෙන්ස් ස්ටොලෙන්බර්ග් පවසා ඇත්තේ 'නේටෝ' සංවිධානය යුක්රේනයට සහාය පළ කරන බවය. යුරෝපය යළි යුද්ධයකට පටලවා ගැනීමට රුසියාව කටයුතු කර ඇති බවත්ය. රුසියාවට මුළුමනින්ම අකර්මණ්‍ය කිරීමට සම්බාධක පැනැවීමක් සිදු කරන බවත් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

මේ අතර තමන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටියා නම්, යුක්රේනය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් නිර්මාණය නොවනු ඇති බවත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණ බවත් ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්තිය නම්, විදෙස් අර්බුදයකදී එරට ප්‍රධාන පක්ෂ වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ සැමවිටම එකිනෙකා ගන්නා තීන්දු තීරණවලට සහාය පළ කිරීමය. කෙසේ නමුත් යුක්රේන අර්බුදයේ දී ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන් රුසියාව සම්බන්ධයෙන් සහ රුසියන් ජනාධිපති පුටින් සම්බන්ධයෙන් ගන්නා තීන්දු රිපබ්ලිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක් වන බවක් පෙනෙයි. ට්‍රම්ප් බලයේ සිටිද්දී රුසියන් ජනාපධිති සමඟ යහපත් සබඳතා පැවැත්වීමට උත්සාහ ගත්තේය. ඒ නිසාම ට්‍රම්ප් රුසියන් හිතවාදියකු යැයි චෝදනාවට ද ලක් විය. හිටපු ජනාධිපති ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ මයික් පොම්පේඕ ද රුසියන් ජනාධිපති පුටින් ප්‍රශංසා කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. “මා දන්නා ශක්තිමත් නිර්භීත නායකයකු වන්නේ පුටින්. යුක්රේනය නේටෝව සමඟ කටයුතු කිරීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඔහු යුක්රේනය සමඟ අර්බුදයකට පැටලුණේ ඒ නිසයි” යැයි පෙම්පේඕ පෙන්වා දී තිබේ.

අල් ජසීරා ඇසුරිනි

RECOMMEND POSTS