චීනයේ කෘත්‍රිම හිරු සඳු



චීනය යනු අද ලොව බලවත්, ධනවත් මෙන්ම ප්‍රබල රාජ්‍යයකි. අභ්‍යවකාශ කටයුතු අතින් ද චීනය අද ලොව ඉදිරියෙන් පසුවෙයි. මේ වනවිටත් චීන ගගනගාමීන් කණ්ඩායමක්, පෘථිවි කක්ෂයේ රැදී හිදිමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළක් එකලැස් කිරීම ආරම්භ කර තිබේ. ඒ අතර කාන්තා ගගනගාමිනියක් ද වෙයි. ඇමෙරිකාව ඇතුළු ලොව ප්‍රබල රටවල් එක් වී නිර්මාණය කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙන් නොවෙයි; චීනයේ ටියැංගොන් යන නමින් නම් කළ මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළ ප්‍රමාණයෙන් කුඩා එකකි. 

ඉදිරි වසර කීපය ඇතුළත, අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වනු ඇති අතර, චීනයට ඇමෙරිකාවේ හෝ වෙනත් බටහිර රටක හෝ අඩම්බරකම් නොබලා තමන්ගේම කියා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ලැබෙන ඇත. ඉන්පසු ඉදිරියේ දී චීනය අභ්‍යවකාශ ගවේෂණවල නියැලෙනු ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට අභියෝග කරමිනි. මේ වනවිට චීනය කෘත්‍රිම සූර්යයයෙක් සහ චන්ද්‍රයෙක් නිපදවා ඇතැයි කීවොත් ඔබ මවිත වේවි. ඒක බොරුවක් නොවෙයි. ඒත් දිවා කාලයේ හෝ රාත්‍රියේ හෝ අපට කෘත්‍රිමව නිපදවූ වෙනත් සූර්යයකු හෝ චන්ද්‍රයකු හෝ අපට දකින්න නැත. හේතුව, චීනය නිපදවූ කෘත්‍රිම සූර්යයා හෝ චන්ද්‍රයා හෝ ඇත්තේ අහසේ නොවන බැවිනි. ඒවා ඇත්තේ චීනයේ පර්යේෂණාගාර තුළය.

පරිසර දූෂණය (විශේෂයෙන් වායු දූෂණය) යනු චීනය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගවලින් එකකි. මේ අභියෝගය ජය ගැනීමට චීනය න්‍යෂ්ටික වියළන ප්‍රතික්‍රියාකාරකයක් අඩංගු පර්යේෂණාගාරයක් නිපදවා තිබේ. මෙය හැඳින්වෙන්නේ 'පර්යේෂණාත්මක සුපිරි සන්නායක ටොකාමාන්' යනුවෙනි. මෙය ක්‍රියාත්මක වන්නේ අප සූර්යයාගේ තාපයට වඩා දස ගුණයක තාපයක් මුදා හරිමිනි. ඒ නිසයි; HL-2M ටොකාමාන් න්‍යෂ්ටික වියළන ප්‍රතික්‍රියාකාරකය (Tokamak Nuclear Fusion Reactor) චීනයේ කෘත්‍රිම හිරු නැතිනම් සූර්යයා ලෙස හැඳින්වෙන්නේ.

මේ කෘත්‍රිම සූර්යයා චීනයේ අනාගතයයි. චීනයේ නව පරම්පරාවේ සුපිරි නිර්මාණයයි. චීනය සතු වඩාත් සංකීර්ණ, සුපිරි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද න්‍යෂ්ටික වියළන ප්‍රතික්‍රියාකාරකය වන්නේ ද මෙම ටොකාමාන් HL-2M ය. 'කොවිඩ් 19' වසංගතය මැද 2020 වසරේ දෙසැම්බරයේ පළමු වරට ටොකාමාන් HL-2M න්‍යෂ්ටික වියළන ප්‍රතික්‍රියාකාරකය පණ ගැන්වීම සිදුවූයේ එය ලොව ප්‍රධාන පුවත බවට පත් වෙමිනි.

චීනය, ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන්ට හිමිකම් කියන රාජ්‍යයන්ගෙන් එකකි. කාර්මික රටකි. චීනය පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය (කාබන් විමෝචනය) ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් ඒකාබද්ධව පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩිය. කාබන් විමෝචනය පැහැදිලි ලෙස කප්පාදු කිරීම (අඩු කිරීම) චීනයේ ප්‍රධාන අරමුණ වෙයි. චීන රජය, එරට විද්‍යාඥයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින්, ඔවුන්ගේ දැනුම භාවිතයට ගනිමින්, ටොකාමාන් HL-2M න්‍යෂ්ටික වියළන ප්‍රතික්‍රියාකාරකය නිර්මාණය සිදු කර ඇත්තේ අසීමිත ලෙස පිරිසුදු බලශක්තිය උත්පාදනය කර ගැනීමේ අරමුණින්ය.

ටොකාමාන් ක්‍රියාත්මක වන්නේ, න්‍යෂ්ටික වියළන හරහා සෙල්සියස් අංශක මිලියන 150 ක තාපයක් පිට කරමිනි. පරිසර හිතකාමී බලශක්තිය නිපදවා ගැනීමට ඇති සාර්ථක ක්‍රමය මෙය පමණක් බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.  HL-2M චීනය සතු විශාලතම කෘත්‍රිම සූර්යයා ලෙස ද සැලකෙයි. HL-2M බලශක්තිය නිපදවීම සිදු කරන්නේ හයිඩ්‍රජන් සහ ඩිටීරියම් (Hydrogen and Deuterium) වායු මුදා හරිමිනි.
HL-2M ටොකාමාන් න්‍යෂ්ටික වියළන ප්‍රතික්‍රියාකාරකය නිපදවා ඇත්තේ, චීනයේ ෂෙංග්ඩූ පළාතේ චීන රජයට අයත් භෞතික විද්‍යා ආයතනයයි. 2019 නොවැම්බර් 26 වැනිදා වනවිට චීන විද්‍යාඥයන් මෙම කෘත්‍රිම සූර්යයා නිර්මාණය කර අවසන් විය. එය පණ ගැන්වීම සිදුවූයේ 2020 දෙසැම්බර් 4 වැනිදා සිටය.

චීනයේ මේ 'කෘත්‍රිම චන්ද්‍රයා' ඇත්තේ සූෂෝ නගරයේ අති දැවැන්ත පර්යේෂණාගාරයක අංගනයක් තුළය. චීන විද්‍යාඥයන් මේ 'කෘත්‍රිම චන්ද්‍රයා' නිර්මාණය කර ඇත්තේ, චුම්බක එසේත් නැතිනම් කාන්දම් භාවිතයට ගනිමිනි. කෘත්‍රිස චන්ද්‍රයා යනු පර්යේෂණාගාරය තුළ සඳ මතුපිට පරිසරය කෘත්‍රිම ආකාරයට නිර්මාණය කිරීමකි. සඳ මතුපිට මෙන් ගුරුත්ව බලය අඩු කිරීම සිදුවන්නේ කාන්දම් යොදා ගනිමිනි. එමපමණක් නොවෙයි. මෙම

2024 වසරේ දී ඇමෙරිකාවේ නාසා ආයතතනය යළි සඳ ගමන් ආරම්භ කිරීමට සූදානම් වෙයි. චීනය ද සඳ ගවේෂණය කර තිබේ. ඒත් ගගනගාමීන් සඳට යවා නැත. ඉදිරි වසර කීපයේ චීන ගගනගාමීන් කණ්ඩායමක් සඳට යෑමට පමණක් නොවෙයි; සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් සූදානම් වෙයි. ඒ සඳහා පෙරහුරු පැවැත්වෙන්නේ සූෂෝ නගරයේ ඇති පර්යේෂණාගාරයේ ඉදි කළ 'කෘත්‍රිම සඳ' යනුවෙන් නම් කළ කුටිය තුළය. සඳුගේ වායු ගෝලයක් නොමැති බැවින් සහ ඔක්සිජන් නොමැති බැවින්, මෙම කුටිය රික්තක කුටියකි‍.

මෙම 'කෘත්‍රිම චන්ද්‍රයා' රික්තක කුටිය නිපදවීම සිදු කර ඇත්තේ චීන රජයට අයත් කැණීම් සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරුවන් සහ පර්යේෂකයන් ඇතුළු විද්වතුන් රැසක් එක් වෙමිනි. ඒ අතරින් 'කෘත්‍රිම චන්ද්‍රයා' රික්තක කුටිය නිපදවීමට නායකත්වය ලබා දුන් විද්‍යාඥයකු වන්නේ ලී රුයිලිං ය. 'චන්ද්‍රයා මතුපිට ස්වභාවය කෘත්‍රිමව නිර්මාණය කළ මෙවැනි කෘත්‍රිම චන්ද්‍රයෙක් ලොව කොතැනකවත් නැහැ. මේ තමයි, ලොව පළමු කෘත්‍රිම චන්ද්‍රයා' යැයි ලී රුයිලිං පෙන්වා දෙයි. සඳ මතුපිට සැබෑ ස්වරූපය සියයට 100 ක් ඒ ලෙසම නිර්මාණය කිරීමට චීන විද්‍යාඥයන් මෙම කෘත්‍රිම චන්ද්‍රයා හරහා කටයුතු කර තිබේ.

කෘත්‍රිම චන්ද්‍රයා අයත් වන රික්ත කුටියක් ඇති අතර එහි විෂ්කම්භය සෙන්ටිමීටර 60 (අඩි 2 ක් පමණ) කි. කුටියේ අඩු ගුරුත්වාකර්ෂණ මට්ටම ඕනෑම වේලාවක, ඕනෑම කාලයක් පවත්වා ගෙන යා හැකි යැයි එය නිර්මාණය කළ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ස‌ඳ මතුපිට මෙන් දූවිලි, පස්, ආවාට ආදිය ද මෙහි නිර්මාණය කර අඳුරු වටපිටාවක් නිර්මාණය කර තිබේ. සූර්යා ලෝකය වැටෙන ආකාරයට දීප්තිමත් විදුලි පහන් දැල්වීමක් ද එක් පැත්තකින් සිදු කර තිබේ.  සඳ මතුපිට මෙන්, අඩු ගුරුත්වාකර්ෂණයට චීන ගගනගාමීන් හුරු කිරීම, ඔවුන්ට සඳ මතුපිට කටයුතු කිරීමට පුහුණුවක් දීහ මෙම කෘත්‍රිම චන්ද්‍රයා නිර්මාණයේ අරමුණය. අවසාන ඉලක්කය වනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමය.

'ෂින්හුවා' ඇසුරිනි


RECOMMEND POSTS