එවරස්ට් කන්දේ ග්ලැසියර දියවෙනවා



ලෝකයේ උසම කන්ද (ශිඛරය) කුමක්දැයි ඇසුවොත් ඊට පිළිතුර 'එවරස්ට්' ය. ඒත් ඉදිරි දශකයේ එවසර්ට් ශිඛරයේ උස අඩුවී, එය ලොව උසම ශිඛරය නොවීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. හිමාල අඩවියේ පිහිටා ඇති 'එවරස්ට්' ශිඛරය, 'හිමාල කන්ද' යනුවෙන් ද හැඳින්වෙයි. එවරස්ට් ශිඛරය ඇත්තේ චීන නේපාල දේශසීමාවේය.

චීන ජාතිකයන් එවරස්ට් හඳුන්වන්නේ ‘කොමොලංමා’ යන ටිබෙට් නාමයෙනි. නේපාල වැසියන්, එවරස්ට් හඳුන්වන්නේ ‘සාගර්මාතා’ යනුවෙනි. ඒ, ආසියාවේ මහා ගංගා රැසක් ආරම්භ වන්නේ 'එවරස්ට්' ශිඛරය පිහිටි හිමාල කඳු වැටියෙන් වීම නිසාය. එවරස්ට් ශිඛරයේ උස මීටර් 8,842 ක් වන නමුත්, දැන් එය සෙමින් අඩුවෙමින් පවතී.

එවරස්ට් ශිඛරයේ උස මෙලෙස අඩු වන්නේ, මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යෑම නිසාය. ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යෑමත් සමඟ, ශිඛරයේ ඉහළින්ම පිහිටි ග්ලැසියර් අයිස් තට්ටුවක් දියවීම වේගවත් වී ඇත‍. මෙම ග්ලැසියරය ගැන විද්‍යාඥයන් විමසිල්ලෙන් පසුවන්නේ 1990 දශකයේ සිටය. ඊට හේතුව, ග්ලැසියරය දියවී යෑම ආරම්භ වූයේ 1990 වසරේ සිටය. පසුගිය දා ඇමෙරිකාවේ 'මේන්' විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ කඳු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් අනතුරු අඟවමින් පැහැදිලි කළේ එවරස්ට් ශිඛරයේ ඉහළින්ම ඇති 'සවුත් කොල්' South Col නමැති ග්ලැසියරයේ ඝනත්වය, පසුගිය වසර 25 ක කාලය තිස්සේ අඩි 180 කින් (සෙන්ටි මීටර් 45) කින් අඩු වී ගොස් ඇති බවය.

මෙම ග්ලැසියරය ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 7,906 ක් (අඩි 25,938 ක්) ඉහළිනි. භූමි මට්ටමේ ඇති ග්ලැසියර් අයිස් තට්ටුයලට වඩා 80 ගුණයක වේගයකින් 'සවුත් කොල්' ග්ලැසියරය දියවී යමින් පවතී. ඉදිරියේ දී එය තව තවත් වේගවත් වනු ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව වසර 2,200 ක් පැරැණි මෙම ග්ලැසියරය, මෙම සියවස අවසන් වීමට පෙර මුළුමනින්ම අතුරුදන්වී යනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම අනතුරු ඇඟවීම, කිසිසේත් සුළුකොට තැකිය නොහැකිය.

අප කවුරුත් බිය විය යුත්තේ, 'සවුත් කොල්' South Col ග්ලැසියරය දියවී, එවරස්ට් ශිඛරයේ උස අඩුවීම ගැන නොව, ග්ලැසියරය දියවීමෙන් සිදුවන ඵලවිපාක සම්බන්ධයෙනි. නේපාල වැසියන් 'සාගරමාතා' එසේත් නැතිනම් 'සාගරයේ මාතාව' යන නමින් එවරස්ට් හඳුන්වන්නේ විශේෂ හේතුවක් ඇතිවය. එවරස්ට් අයිත් හිමාලය, ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම 'හිම විමානය' යන්නය. එවරස්ට්, කේ.2 ඇතුළු ලොව උසින් වැඩිම ශිඛර පිහිටා ඇත්තේ හිමාල අඩවියේය.

ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ ආදී ලොව ප්‍රධානතම මහා ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාල අඩවියෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3 ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති. එවරස්ට් ශිඛරයේ ග්ලැසියර දියවී නැත්තටම නැතිවී යද්දී, මෙම ගංගා සිඳී යෑම වේගවත් වනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එය මහා ජල අර්බුදයක් ඇති කිරීමට සමත් වේවි.

ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ 'සවුත් කොල්' ග්ලැසියරයේ ඝන අයිස් තට්ටු දියවී යද්දී, එම අයිස් තට්ටුවලට යටින් ගැඹුරින් පිහිටි කළු අයිස් තට්ටු හිරු එළියට නිරාවරණය වනු ඇතැයි ද පැවැසෙයි. එය ග්ලැසියරය තවත් වේගයෙන් දියවී යෑමට හේතුවක් වනු ඇත. එපමණක් නොව, වසර දහස් ගණනක් තිස්සේ අයිස් තට්ටු අතරේ මිදී පවතින මිනිසාට වින කළ හැකි මෙතෙක් හඳුනා නොගත් ආකාරයේ අයිස් තුළ සිරවුණු මිනිසාට වින කළ හැකි වයිරස, බැක්ටීරියා ආදිය ද පරිසරයට මුදා හැරෙනු ඇතැයි ආචාර්ය මාරියුස් පොටෝකි පවසයි. 'සවුත් කොල්' ග්ලැසියරය වේගයෙන් දියවී යන බව ලොවට අනතුරු අඟවන විද්‍යාඥ කණ්ඩායමේ එක් ප්‍රධාන විද්‍යාඥයෙකු වන්නේ මොහුය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS