ඉරානයේ නව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි



ඉරාන ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඊබ්‍රහිම් රයිසි සමත් විය. ඒ අනුව, ඉරානයේ අට වැනි ජනාධිපතිවරයා වන්නේ ඊබ්‍රහිම් රයිසි ය.

60 හැවිරිදි දැඩිමතධාරියකු වන රයිසි, ඉරානයේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව, ඉරාන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ලෙස එම ධුරය දැරුවේ ද ඊබ්‍රහිම් රයිසි ය.

රයිසි උපත ලබා ඇත්තේ, ඊසානදිග ඉරානයේ මෂ්ෂාන්ද් නගරයේය. ඉරානයේ ප්‍රධානතම ආගමික නාගරයක් මෙයයි. අටවැනි ෂියා ආගමික නායකයා (ඉමාම්) ලෙස සැලකෙන රෙසා භූමදානය කර ඇත්තේ ද මෙම නගරයේ ය.

ආගමික පසුබිමක හැදී වැඩුණු රයිසි අධායපනය ලැබුවේ 'කෝම්'  පූජක විද්‍යාලයකිනි. අවුරුදු 15 දී ඔහු ඉරානයේ උත්තරීතර නායක අයිතොල්ලා අලි හුසේනි කමේනි ඇතුළු එරට ප්‍රමුඛම මුස්ලිම් විද්වතුන් යටතේ අධ්‍යාපනය ලැබීය. රයිසි නීතිය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් අනතුරුව රයිසි 1985 වසරේ දී තෙහ්රාන් නුවරට පැමිණි අතර, එහිදී ඔහු නියෝජ්‍ය අභිචෝදකයකු ලෙස පත් කර ගැනීම සිදුවිය.

2016 වසරේ දී, ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලී කමේනි විසින්, ඉරානයේ 'ඉමාම් රෙසා' සිද්ධස්ථානය යටතේ පවතින අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරයේ භාරකරු ලෙස රයිසි පත් කරන ලදී. 'ඉමාම් රෙසා' යනු ඉරානයේ බලවත් හා වැදගත් ආගමික සිද්ධස්ථානයක් වන අතර දේශපාලන වශයෙන් ද ඉතා ආයතනයකි. 'අස්තාන්-ඊ-කුද්ස්-රසාවි' භාරය මඟින් ඉරානයේ ඩොලර් බිලියන ගණනක වත්කම් පාලනය වේ.

2017 වසරේ දී පැවැති ජනාධිපතිවරණයට ද රයිසි ඉදිරිපත් විය. එහිදී සමස්ත ඡන්දවලින් සියයට 38ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ඔහු සමත්විය. එම අවස්ථාවේ ජයග්‍රහණය කළේ හසන් රොව්හානි ය. තම අට වසරක ධුර කාලය අවසන් කරමින් ජනාධිපති ධුරයට සමුගන්නා හසන් රොව්හානී, ඊබ්‍රහීම් රායිසී සුබ පැතුවේය. ඒ, ජනතාවගේ තේරීමත් තමාගේ තේරීමත් ඊබ්‍රහීම් රායිසි බව පවසමිනි. රොව්හානී, ඉරාන ජනාධිපති ධුරයෙන් සමුගන්නේ ලබන අගෝස්තුවේය. ඊබ්‍රහීම් රායිසි ජනාධිපති ධුරයට පත් වෙද්දී අගවිනිසුරු ධුරය රොව්හානීට හිමිවනු ඇතැයි ද පැවැසෙයි.

ඉරාන ජනාධිපතිවරණය පසුගිය සිකුරාදා (18) පැවැත්වූයේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ සිවුවැනි රැල්ල මධ්‍යයේය. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ගණන මිලියන 59 කි.

කෙසේ නමුත්, වයිරස වසංගතය හේතුවෙන් ඡන්ද පොළ වෙත පැමිණියේ ඉතා අඩු පිරිසකි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 48.8 කි. රයිසි දිනා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 61.95 ක් බව පැවැසෙයි. කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස බැට කන මැදපෙරදිග රාජ්‍යය ඉරානයයි. ඉරානය, සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙන්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය.

අයතොල්ලා අලී කමේනිගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා වීමට සුදුස්සා බව පැවැසනේනේ ද ඊබ්‍රහීම් රායිසි ය. ඉරානයේ බලගතුම තැනැත්තා ඉරාන උත්තරීතර නායකයාය. 1989 වසරේ සිට ඉරාන උත්තරීතර නායකයා ලෙස එම තනතුර හොබවන්නේ අයතොල්ලා අලී කමේනි ය.

විදේශ ප්‍රතිපත්ති, රටේ නීති පද්ධතිය, රාජ්‍ය මාධ්‍ය සහ විප්ලවීය හමුදාව ද පාලනය වන්නේ උත්තරීතර නායකයා යටතේය. ඉරාන ජනාධිපතිවරයා සිටින්නේ, ඉරාන උත්තරීතර නායකයාට පහළිනි.

ඉරාන රජයට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයාය. ඔහු දෙස් විදෙස් ප්‍රතිපත්ති හඳුන්වා දෙමින්, ඒවා ක්‍රියාත්මක කරන්නේ උත්තරීතර නායකයා සමඟ සාකච්ඡා කර ඊට අනුමැතිය ලැබෙන්නේ නම් පමණි.
ඉරාන පාර්ලිමේන්තුව ද උත්තරීතර නායකයාට යටත් වෙයි. ඔවුන් ගන්නා සියලු තීන්දු තීරණ ද උත්තරීතර නායකයාගේ අනුමැතිය අනුව පමණක් සිදුවෙයි.

ජනාධිපතිවරණය සඳහා ඊබ්‍රහීම් රායිසි සමඟ අවසන් වටයට ආ ඉතිරි අපේක්ෂකයන් තිදෙනා අමීර් හුසෙයි හෂීමි, මොෂේන් රෙසායි සහ අබ්දුල්නසාර් හෙමාතී ය. 50 හැවිරිදි අමීර් හුසෙයි හෂීමි, ඉරාන ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට සහභාගී වුණු ළාබාලතම තැනැත්තා විය. දැඩි මතධාරියකු වන මොහු වෛද්‍යවරයෙකි. අමීර් හුසෙයි හෂීමි ට හිමි කර ගැනීමට හැකිවූයේ ඡන්ද මිලියනයක් පමණි.

වසර 16 ක් ඉරාන විප්ලවීය හමුදාවේ සේනාධිනායකයා ලෙස කටයුතු කළ මොෂේන් රෙසායි ඡන්ද මිලියන 3.3 ක් දිනා ගත්තේය. ඉරාන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ලෙස කටයුතු කළ අබ්දුල්නසාර් හෙමාතී මිලියන 2.4 ක ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගෙන තිබුණි.

නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහීම් රායිසි ට ඇති ලොකුම අභියෝගය වනු ඇත්තේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ සාකච්ඡා පවත්වා යළි එම න්‍යෂ්ටික වැඩසටහනට ඇමෙරිකාව සම්බන්ධ කර ගැනීමය. කෙසේ නමුත්, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව සහ ඊබ්‍රහීම් රායිසි අතර යහපත් සබඳතා නොමැති බැවින් එය අභියෝගයක් වනු ඇති බවය.‍

මේ අතර ජෝ බයිඩන් පරිපාලනය ද පවසා ඇත්තේ යළි ඇමෙරිකාව එම න්‍යෂ්ටික එකඟතාවට ඇතුළත් කිරීමට සූදානම් බවය. එපමණක් නොව, 'කොවිඩ් 19' වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය පණ ගැන්වීම ඉරාන නව ජනාධිපති ලෙස ඊබ්‍රහීම් රායිසි ප්‍රධානතම අභියෝගය වනු ඇත. එසේ කිරීමට නම්, ඊබ්‍රහීම් රායිසි ට ඇමෙරිකන් සම්බාධක ඉවත් කර ගැනීමට සිදුවුනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

ඉරානයේ නව ජනාධිපති ඊබ්‍රහීම් රායිසි තේරී පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව කනස්සල්ල පළ කර ඇත. ඉරාන අගවිනිසුරු ලෙස ඊබ්‍රහීම් රායිසි ලබා දුන් තීන්දු ඇමෙරිකාවේ උදහසට හේතුවක් වී ඇති අතර, ඇමෙරිකාව ඊබ්‍රහීම් රායිසී ට සම්බාධක පැනැවීම් පවා සිදු කර තිබේ.

විනිසුරුවරයකු ලෙස රායිසි, දේශපාලන ප්‍රතිවාදීන් ඇතුළු ක්‍රියාකාරීන් 30,000 කට වැඩි පිරිසකට මරණ දඩුවම ලබා දී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයත් ඊබ්‍රහීම් රායිසී සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇත. 'මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කළ කුරිරු අපරාධ' සම්බන්ධයෙන් ඊබ්‍රහීම් රායිසි ට දඩුවම් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකාවේ මිතුරා මෙන්ම ඉරානයේ එදිරිවාරියා ද වන ඊශ්‍රායලය පවසා ඇත්තේ ඉරාන ජනාධිපති ධුරයට පත්වුණු 'වඩාත් දැඩිමතධාරී ජනාධිපති' ඊබ්‍රහීම් රායිසි බවය. ඊබ්‍රහීම් රායිසී යටතේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන තව තවත් වර්ධනය වනු ඇතැයි ඊශ්‍රායල විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, නව ජනාධිපති රායිසි ට සුබ පතමින් පවසා ඇත්තේ ඊශ්‍රායල පාකිස්තාන සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවය. කලාපීය සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් ඉරානනය නව මාවතකට යොමු වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද රායිසී ට සුබ පැතීමට අමතක නොකළේය. තුර්කි ඉරාන සබඳතා තව දුරටත් ශක්තිමත් වේවි යැයි තමන් විශ්වාස කරන බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කළේය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ට ඉරාන නව ජනාධිපති රායිසි ට සුබ පැතුවේය.

නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළ සෙසු රටවල් වන්නේ ඉරාකය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. මීට අමතරව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකන ගාසා තීරයේ හමාස් සංවිධානය ද ඉරාන නව ජනාධිපතිවරයාට සුබ පතා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS