ඉන්දියාවේ ලොතරැයි රජු



ඉන්දීය මහ මැතිවරණයට දින නියම වී අවසන්ය. මැතිවරණය අදියර කීපයක් යටතේ ලබන අප්‍රේල් 19 වැනිදා ආරම්භ වනු ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය තවත් විශිෂ්ට ජන වරමක් අපේක්ෂා කරයි. මහ මැතිවරණයත් සමඟ මැතිවරණ බැඳුම්කර ගැනත් ඉන්දියාවේ ලොතරැයි රජු ගැනත් කතාබහක් නිර්මාණය වී ඇත. ඉන්දියාවේ ලොතරැයි රජු යනු නාමයෙන් හැඳින්වෙන්නේ සැන්ටියාගෝ මාටින්ය. මහ මැතිවරණයට දින නියම වෙද්දී, මැතිවරණ කොමිසම, මැතිවරණ බැඳුම්කර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය. එම තොරතුරු අනුව, 'ෆියුචර් ගේමිං ඇන්ඩ් හොටෙල් සර්විසස්' නමැති පෞද්ගලික සමාගම, ඉන්දීය දේශපාලන පක්ෂවලට ඩොලර් මිලියන 164 කට වඩා වැඩි මුදල් පරිත්‍යාගයක් කර තිබේ. 'ෆියුචර් ගේමිං ඇන්ඩ් හොටෙල්ස්' සමාගමේ හිමිකරු සැන්ටියාගෝ මාටින්ය. 2002-2003 දී ඉන්දියාවේ වැඩිම පුද්ගල බදු ගෙවන්නා වූයේ ද මොහුය.

මැතිවරණ බැඳුම්කර ක්‍රමය, හඳුන්වා දුන්නේ, 2018 වසරේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයයි. නිර්ණාමිකව සහ සීමාවකින් තොරව, දේශපාලන පක්ෂවලට මුදල් පරිත්‍යාග කිරීමට එයින් ඉඩ සැලැසිණි. මෙම ක්‍රමය යටතේ පුද්ගලයකුට හෝ සමාගමකට මෙම බැඳුම්කර ඉන්දීය මහ බැංකුවෙන් ඉන්දීය රුපියල් 1,000 සිට ඉන්දීය රුපියල් මිලියන 10 දක්වා මිලට ගෙන ඔවුන් කැමති දේශපාලන පක්ෂයකට පරිත්‍යාග කළ හැකිය. ඒ අනුව, මැතිවරණ බැඳුම්කර දේශපාලන අරමුදල් සැපයීමේ ප්‍රධාන ක්‍රමයක් බවට පත්විය. මෙම ක්‍රමයේ විශාලතම ප්‍රතිලාභියා වූයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බව අමුතුවෙන් කිවයුතු නැත. මැතිවරණ බැඳුම්කර ක්‍රමය නීතිවිරෝධී නොවුණත් එහි විනිවිදභාවය සම්බන්ධයෙන් 2018 වසරේ සිටම ගැටලුවක් පැවැතිණි.

මෙම 2024 වසරේ ජනවාරියේ, වසර 7 ක් තිස්සේ පැවැති මැතිවරණ බැඳුම්කර ක්‍රමය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළේය. දේශපාලන පක්ෂවලට, මුදල් ලබා දෙන්නන් කවුරුන්ද යන්න දැනගැනීමට අයිතියක් මහජනතාව සතුව ඇතැයි සිවිල් කණ්ඩායම් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී, ඉන්දීය අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුද් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්, මෙම ක්‍රමය ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කළේය. මෙම නඩු තීන්දුවෙන් පසු, මැතිවරණ කොමිසම මැතිවරණ බැඳුම්කර ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී, ලොතරැයි රජු හෙවත් සැන්ටියාගෝ මාටින් ගැන තොරතුරු අනාවරණය වීමට පටන් ගත්තේය.

63 හැවිරිදි මාටින් මතභේදාත්මක චරිතයකි. මූල්‍ය අක්‍රමිකතා, ලොතරැයි වංචා ද ඇතුළු මුදල් විශුද්ධිකරණ චෝදනා ඔහුට එල්ල විය. සැන්ටියාගෝ මාටින් යනු වංචාකාරයෙකි. මාටින් උපත ලබා ඇත්තේ 1961 වසරේදීය. මාටින්, මියන්මාරයේ යැංගොන් නුවර කුලී වැඩ කරමින් ජීවනෝපාය ආරම්භ කර ඇත. මාටින්, යළි ඉන්දියාවට පැමිණියේ 1988 වසරේදීය. මේ, ලොතරැයි පිළිබඳ ජනතාව අතරේ ලොකු උනන්දුවක් ඇතිවූ කාලයකි. පුංචි තේ කඩයක් ආරම්භ කළ, මාටින් ලොතරැයි අලෙවියට යොමු විය. පසුව ඔහු ලොතරැයි අලෙවි නියෝජිතයකු විය. ලොතරැයි වෙළඳාම අසීමිත ලෙස වාසිදායක විය. මේ බව මාටින්ගේ බිරිඳ ලීමා රෝස් ටයිම්ස් ඔෆ් ඉන්දියා සමඟ වරක් පවසා ඇත. විකිණීමට නොහැකි වූ ලොතරැයි පත්වල ත්‍යාග ලබා ගැනීමට මාටින් සැලැසුම් සකස් කර තිබුණි.

1987 දී 26 හැවිරිදි සැන්ටියාගෝ මාටින්, කොයිම්බතූර් හි ලොතරැයි අලෙවි සැල් පහක් කළේය. ඔහු විවාහ වූයේ ද එම වසරේය. 1988 දී, මාටින් තමන්ගේම ලොතරැයි ව්‍යාපාරයක් පවා ආරම්භ කළේය. ඒ, ලොතරැයි මුද්‍රණය කර අලෙවි කරමිණි. 1990 වනවිට සැන්ටියාගෝ මාටින් සිය ව්‍යාපාර ජාලය පුළුල් කර තිබුණි. මාටින් සිය ව්‍යාපාර විදේසවලට රැගෙන ගියේය. ලොතරැයි ව්‍යාපාරය දියුණු වෙද්දී මාටින්, තවත් ව්‍යාපාරවලට ද සම්බන්ධ විය. ඉදිකිරීම්, දේපොල වෙළඳාම්, රෙදි පිළි ක්ෂේත්‍රයට යොමු විය. ඒ අතරේ පුණ්‍ය කටයුතුවලට ද ඔහු දායක විය.

මාටින් 'ෆියුචර් ගේමිං ඇන්ඩ් හොටෙල් සර්විසස්' සමාගම තමිල්නාඩුවේ ආරම්භ කළේ මෙම කාලයේය. මෙම සමාගම අයත් ගොඩනැගිල්ල පිහිටි ලිපිනයට ගියහොත් එහි ඇත්තේ අතහැර දැමුණු පාළු ගොඩනැගිල්ලක් පමණි. 'ෆියුචර් ගේමිං ඇන්ඩ් හොටෙල් සර්විසස්' සමාගම ක්‍රියාත්මක වන්නේ කොතැන සිටදැයි දන්නේ මාටින් පමණි. මැතිවරණ බැඳුම්කර ක්‍රමය යටතේ, මාටින්ගේ 'ෆියුචර් ගේමිං ඇන්ඩ් හොටෙල් සර්විසස්' සමාගම, 2019 අප්‍රේල් සහ 2024 ජනවාරි අතර කාලයේ ඉන්දීය රුපියල් බිලියන 13.68 ක් (ඩොලර් 165 ක්) වටිනා මැතිවරණ බැඳුම්කර මිලදී ගෙන ඇති බව මේ වනවිට මැතිවරණ කොමිසම අනාවරණය කර තිබේ.

මිලදී ගන්නා ලද බැඳුම්කරවලින් රුපියල් බිලියන 5 කට වඩා වැඩි මුදලක් මාටින්, සිය ව්‍යාපාරය ආරම්භ කළ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයට දී ඇත. මැතිවරණ බැඳුම්කර දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාටින් කිසිදු ප්‍රකාශයක් කර නැත. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට, බීබීසී සේවය, විද්‍යුත් තැපැල් පණිවුඩයකින්, මාටින් හෝ ඔහුගේ බිරිඳ ලීමා රෝස් හෝ සම්බන්ධ කර ගනිමින් අදහස් විමසා බැලීමට උත්සාහ ගත් නමුත් ඊට ද ප්‍රතිචාරයක් ලැබී නැත.

2003 වසරේ දී මාටින්ගේ ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ල විය. එදා තමිල්නාඩු මහ ඇමතිනිය ලෙස කටයුතු කළේ ජයලලිතාය. සූදුවට යොමුවුණු තමිල්නාඩු දිළිඳු පවුල් අන්ත අසරණ වී සිටිනු දුටු මහ ඇමැතිනී ජයලලිතා තමිල්නාඩුවේ ලොතරැයි අලෙවි කටයුතුවලට තහංචි පැනැවීය. තමිල්නාඩුවේ තම ව්‍යාපාර කටයුතු අඩපණ වෙද්දී, ඒවා කර්ණාටක ප්‍රාන්තයට, කේරළ ප්‍රාන්තයට පමණක් නොව, භූතානයට පවා රැගෙන යෑමට මාටින් කටයුතු කළේය. මිනිසුන්ගේ සිත් කියවීමට මාටින්ට තිබුණේ හොඳ දක්ෂතාවක් බවත් ඔහුට කිසිදු අභියෝගයක් අභියෝගයක් නොවන බවත් ඔහු සමීපව ඇසුරු කළ අය පවසා තිබේ.

2000 දශකයේ මාටින් ප්‍රබල ව්‍යාපාරිකයකු වූවා පමණක් නොවෙයි, දේශපාලන වේදිකාවේ ද කැපී පෙනෙන චරිතයක් විය. ඔහු ජයලලිතාගේ ප්‍රතිවාදියා වූ ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක කරුණානිධි ට සමීප වී සිටියේය. ජයලලිතා පනවා තිබුණු ලොතරැයි තහංචි ඉවත් කර ගැනීමට මාටින්, කරුණානිධිගේ සහාය ලබා ගත් බව පැවැසෙයි. 2011 වසරේ දී කරුණානිධි විසින් රචනා කළ සිනමාවට නැගුණු 'ඉලයිග්නන්' චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ ද මාටින්ය. චිත්‍රපටය අසාර්ථක වූ නමුත්, තව තවත් කරුණානිධිට සමීප වීම මාටින්ට ලොකු වාසියක් විය.

2008 වසරේ දී, කේරළයේ, ඉන්දීය කොමියුනිසිට් පක්ෂයට ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදල් පරිත්‍යාගයක් කළේය. කේරළ ප්‍රාන්ත රජයේ නිලධාරීන් බොහෝ දෙනකු මාටින්ගේ සාක්කුවේ සිටි බවට ද චෝදනා නැගුණු නමුත් ඒවා ඔප්පු නොවිණි. 2008 වසරේ සිට සිකිම් ප්‍රාන්ත රජයට වංචා කර රුපියල් කෝටි 910ක නීති විරෝධී ලාභ උපයාගත් බවට මාටින්ට චෝදනා එල්ල වූ දා සිට ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අවධානයට ලක් විය. ඒ, 2010 වසරේදීය.

මාටින් සෘජුව දේශපාලනයට සම්බන්ධ වූයේ නැත. 2011 වසරේ ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය යළි තමිල්නාඩුවේ බලයට ආ විට, ඉඩම් කොල්ලකෑම, නීති විරෝධී ලොතරැයි අලෙවිය සහ විවිධ ප්‍රදේශවල වංචා කිරීමේ ආදී චෝදනා සම්බන්ධයෙන් නඩු 14 කට වරදකරු වුණු මාටින් ට මාස අටක සිරදඩුවමක් හිමිවිය. ඔහු 2012 මැයි 7 වැනිදා නිදහස ලැබුවේය. සිරදඩුවම් විදි කාලයේ, මාර්ටින්ගේ බිරිඳ දේශපාලනයට සම්බන්ධ වූවාය. ඉන්දියා ජනනායක කච්චි නමැති කුඩා පක්ෂයේ රාජ්‍ය නියෝජ්‍ය මහලේකම් ලෙස ඇය පත් වූවාය.  පසු කාලීනව, මාටින්ගේ වැඩිමහල් පුත් චාල්ස් ජෝස් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූ අතර, මාටින්ගේ සහෝදරයකු වන ටයිසන් 'තමිලර් විඩියල් කච්චි' යන නමින් කුඩා දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය. මාටින්ගේ බෑණා ආධව් අර්ජුන් ද දේශපාලනයට සම්බන්ධ වී සිටී. 2014 දී අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවට ගිය අවස්ථාවේදී මාටින්ගේ බිරිඳ ලීමා රෝස් ඔහු සමඟ වේදිකාවේ සිටිනු පවා දක්නට ලැබිණි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS