අමුතු විදියේ ග්‍රහයෙක්



පෘථිවියේ ස්කන්ධය මෙන්, දහතුන් ගුණයක ස්කන්ධයක් ඇති, පිටසක්වළ බාහිර් ග්‍රහලෝකයක් සොයා ගැනීමට, තාරකා විද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. ඒ, මේ මහා විශ්වයේ අප දන්නේ සියයට එකකටත් වඩා අඩු ප්‍රතිශතයක් බව යළි යළිත් පසක් කරමිණි. අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් ග්‍රහලෝක සොයා ගැනීම අරුමයක් නොවෙයි. ඒ නිසා මේ ග්‍රහලෝකයේ විශේෂත්වයක් තිබෙනවද ඔව්, මේ ග්‍රහලෝකය අලුත් දෙයකි. විද්‍යාඥයන් පුදුමයට පත් කළ අලුත් සොයා ගැනීමකි. මෙතෙක් සොයා ගෙන ඇති කිසිදු පිටසක්වළ ග්‍රහලෝකයකට නැති අපූරු වෙනස්කමක් නව ග්‍රහලෝකය සතුව ඇත.

විද්‍යාඥයන් විසින් LHS 3154 b Exoplanet යන කේත නාමයෙන් හඳුන්වා දී ඇති, මෙම බාහිර් ග්‍රහලෝකය ඇත්තේ M-Class කාණ්ඩයට අයත් අල්ට්‍රා කූල් රතු වාමන තාරකාවක් Ultra-cool Dwarf වටාය. එක් පුදුමයක් වන්නේ, අලුතින් සොයාගත් LHS 3154 b ග්‍රහලෝකයේ ස්කන්ධයයි. මීට පෙර, අල්ට්‍රා කූල් රතු වාමන තාරකා වටා කැරැකෙන ග්‍රහලෝක විද්‍යාඥයන්ට හමුවී තිබේ. ඒත්, මෙම නව ග්‍රහලෝකයේ තරම් ස්කන්ධයක් ඇති ග්‍රහ වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

සාමාන්‍යයෙන් අල්ට්‍රා කූල් රතු වාමන තාරකාවක් වටා කක්ෂගත වන්නේ, පෘථිවියේ ප්‍රමාණයට හෝ ඊට අඩු පාෂාණමය ග්‍රහ වස්තූන්ය. එසේ වුවත්, LHS 3154 b ග්‍රහලෝකය වායු ග්‍රහලෝකයකි. එහි වැඩි ස්කන්ධයක් තිබීම පමණක් නොව, මවු තාරකාවට ආසන්නයේ පිහිටීමත් තවත් පුදුමයට කාරණාවකි. LHS 3154 b ග්‍රහලෝකය තාරකාවට ආසන්නයේ පිහිටා ඇති බැවින්, දින 3.7 කින්, එය තරුව වටා ගමන් කරයි. විද්‍යාඥයන් මෙම රකු වාමන තාරකාව නම් කර ඇත්තේ LHS 3154 යනුවෙනි.

විද්‍යාඥයන් LHS 3154 b ග්‍රහලෝකය තවත් අධ්‍යයනය කළ අතර එහිදී පෙනී ගොස් ඇත්තේ, මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේ අයිස් යෝධයා වන නෙප්චූන්ගේ ස්කන්ධයට සමානකමක් දක්වන බවය. ග්‍රහලෝකය කක්ෂගත වී ඇති අල්ට්‍රා කූල් රතු වාමන තාරකාව, අප සූර්යයාට වඩා නව ගුණයකින් අඩුය. මෙම නව ග්‍රහලෝකය සහ අල්ට්‍රා කූල් රතු වාමන තාරකාව ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 51 ක් පමණ දුරිනි.

ඇස්ට්‍රෝනොමි
මැගසීන් ඇසුරිනි

RECOMMEND POSTS