අතීතයේ සිරිලක විසූ රයිනෝ



පුරාණ ලංකාවේ, නොයෙක් නොයෙක් අපූරු සතුන් සිටි බවට මේ වනවිට සාක්ෂි ලැබී ඇත. හිපපොටේමස් සතුන්, සිංහයන්, ව්‍යාඝ්‍රයන් ආදිය සහ රාජාලියන් වැනි යෝධ කුරුලු විශේෂ ඒ අතර සිටින බව පොසිල අස්ථි සාක්ෂි දරයි.

පසුගිය දා අතීතයේ අප රට ජීවත් වුණු රයිනෝසිරස් සතුන් ගැන අපූරු කතාවක් අසන්න ලැබුණි. වසර අසු දහසකට පෙර, අප රට ජීවත් වුණු මෙම රයිනෝසිරස් සතුන්, උල්කාපාත වර්ෂාවක් හේතුවෙන් මිය යන්න ඇතැයි ද විශ්වාස කෙරේ.

රයිනෝ හිස් කබල සහ අස්ථි කොටස් හමුවී ඇත්තේ මඩොල්සිම හා රිලාඋළු කදු පාමුල ලුණුගල වෙල්යායක අඩි අසුවක් යට මැණික් පතලක මිහිදන්ව තිබියදීය. රයිනෝ අස්ථි කොටස් ගැන අප කවුරු කවුරුත් දැනුවත් කළේ පුරාවිද්‍ය පච්‍චාත් උපාධි ආයතනයේ සත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතාය.


ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ ලුණුගලගම මළ අමුණ වෙල්යායේ අඩි අසුවක් ගැඹූර මැණික් පතලකින් පළමුවෙන් රයිනෝ අස්ථි කොටස් හමුවී ඇත්තේ 1996 දීය.

කැණීම්වලදී පතල්කරුවන්ට හමුවුණු විශාල සත්ව හිස් කබල් පොසිල විද්‍යාඥයන්ගේ අධ්‍යයනයට ලක් වෙද්දී ඒවා ප්ලයිස්ටෝනසීන යුගයේ ජීවත් වූ සත්ව විශේෂ බව තහවුරු වී තිබේ.

මෙවැනි පෞරාණික වටිනාකමක් ඇති සත්ව කොටිඨාශයක තොරතුරු හමුවී ඒවා සියල්ල ගොඩට ගැනීමට වසර 16ක් ගෙවී ගියත් කිසිම රාජ්‍ය ආයතනයක් හෝ කිසිවකු මෙතෙක් ඉදිරිපත් නොවීම කනගාටුවක් බව ද පැවැසෙයි. 1996 වර්ෂයේ ලුණුගල මැණික් පතල් කැණීමේ දී හමුවුණු සත්ව අස්ථි කොටස් අධ්‍ය්‍යනය කිරීමට ගිය අයගෙන් කෙනෙකු වන්නේ ද කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතාය.

''1996 අවුරුද්දේ ලුණුගල මැණික් පතල් කැනීමකදි හමුවී තිබු සත්ව හිස් කබල් හා පොසීල පිළිබද නිරීක්ෂණය කරන්න මමත් එවකට සිටි පුරා විද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරිනියගල මහතා ඇතුලු පිරිසක් සමග එතනට ගියා. අප යන විටත් විශාල වැස්සක් ඇවිත් මැණික් පතල් වල වැසී තිබුනා එම පතලේ අඩි 82ක් ගැඹුර පොළව යට විශාල සත්ව හිස් කබල් දෙකක් සමග පොසීල හමුවී තිබෙනවා ඒවා ගොඩට ගන්න අපහසු නිසා එහි කමිකරුවන් විශාල හිස් කඹලේ තිබු දත් කිහිපයක් ගලවාගෙන ගොඩට ගෙනත් තිබෙනවා එම දත් කිහිපය අපි කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයෙනුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් පරීක්ෂාවට ලක්කළා. එම පරීක්ෂණ වලට අනුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආචාර්ය්‍ය මොහාන් අබේරත්න මහතා සිදුකළ පරීක්ෂණ වලින් දැනට වසර 80,000 කදී පුරාන ශිලා යුගයටත් පෙර තිබු ප්ලයිස්ටෝසීන යුගයේ ජීවත්වු රයිනෝසිරස් නැමති කගවේනාගේ පොසීල බවට හදුනා ගත්තා එම පොසීම හොදම තත්වයේ තිබුනා නමුත් එතන තිබුන පාරිසරික පිහිටිමත් සමග ඉතිරි කොටස් ගොඩට ගන්න බැරිවුණා. ගැහැනු සහ පිරිමි සතකුගේ අස්ථි කොටස් ඒ අතර තිබෙනවා. රයිනෝසිරස් රංචුවකගේ අස්ථි ඇති බව කිව හැකි වන්නේ ඒ නිසයි." යැයි මනමේන්ද්‍ර ආරච්චි මහතා පැහැදිලි කරයි.

වසර අසු දහසකට පෙර, මෙම මැණික් පතල පිහිටි ප්‍රදේශය වැසි වනාන්තර වලින් සමන්විත පරිසර පද්ධතිවක් වන්නට ඇති බවත් විශාල සතුන් ජීවත්වු ප්‍රදේශයක් යැයි කිව හැකි බවත් මනමේන්ද්‍ර ආරච්චි මහතා වැඩිදුරටත් පැහැදිලි කරයි. මැණික් පතලේ හිමිකරු වන්නේ මෙහොමටි කාසිම් මහතාය.

ඔහු මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.

''1996 දී වර්ෂයේ මගේ ඉඩමේ මැණික් පතලක් කැපුවා අඩි අසුවක් පමණ ගැඹුරට උදැල්ලෙන් පස් කපලා මැණික් ඉල්ලම සොයා ගත්තා ඉල්ලම කණින අවස්ථාවේ විශාල සත්වයෙකුගේ හිස් කබල් කිහිපයක් සමග අස්ථි කොටස් හමු වුනා අපි හිස් කබල් වල තිබු එම සතාගේ දත් කිහිපයක් ගැලවුවා ප්‍රදේශයේ විශාල පිරිසක් දැක බලා ගන්නත් ආවා දින දෙකකින් එදා හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරිනියගල මහතා ඇතුලු පිරිසක් ආවා ඒත් එක්කම මහ වැස්සක් ඇවිත් පතල්වල නාය යෑමකින් වැසී ගියා. පුරාණ සතුන්ගේ අස්ථි ඇතුලු හිස් කබල් විශාල ප්‍රමාණයක් යටවෙලා තියෙනවා මෙහි තිබු අස්ථි කොටස් දැරිනියගල මහතා ඇතුලු පිරිස අරන් ගියා එයින් පසු කතා කළේ නැහැ. මෙවැනි පෞරාණික සතුන්ගේ පොළව යට තිබෙන එම අස්ථි කොටස් ගොඩට ගෙන පරක්ෂණ කළ යුතුයි."

(ප්‍රසන්න පත්මසිරි)


RECOMMEND POSTS