ලෝකය මුහුණ දෙන බලශක්ති අර්බුද
'කොවිඩ් 19' වසංගතයෙන් බලපෑම් එල්ල වූයේ අප සෞඛ්‍යයට පමණක් නොවෙයි. මේ වනවිට ගෝලීය ආර්ථිකයට ද 'කොවිඩ් 19' වසංගතයෙන් එල්ල වී ඇති බලපෑම සුළුපටු නොවන බව ජගත් ආර්ථික විශේෂඥයන්ගේ අදහසය. 'කොවිඩ් 19' වසංගතය මැද නිර්මාණය වූ ආර්ථික අර්බුද නිසා බලශක්ති අර්බුදයක් ද, එම බලශක්ති අර්බුදය නිසා යළි ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වී අවසන්ය. අපට පමණක් නොව, ලෝකයේ සෑම කෙනකුටම අදවනවිට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවී තිබේ.
ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් ඇත. ඒ, ඩොලර් 85 සීමාව ඉක්මවා යමිනි. පිටපිට සති අටක කාලය පුරාවට එක දිගට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල මෙසේ ඉහළ ගියේය. 'කොවිඩ් 19' වසංගතය අප සෞඛ්‍ය තත්ත්වයට පමණක් නොව ජීවන තත්ත්වයට ද බලපෑම් එල්ල කිරීමට මෙය ප්‍රධාන හේතු සාධකයක් වී ඇත. කොරෝනා වසංගතයත් සමඟ ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවුණු අවිදිමත් ආර්ථික තත්ත්වය, සැපැයුම් ජාල, බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා දරුණු ආකාරයට අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ අදහසය.
ලෝකය ගෝලීය බලශක්ති අර්බුදයකට මුහුණ දෙයි. ලෝකය මෙසේ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින්නේ, බලශක්ති උත්පාදනයට අවශ්‍ය සියලු ප්රභවයන්ගේ මිල ඉහළ ගොස් ඇති බැවිනි. පළමුවෙන් ඉහළ ගියේ ස්වභාවික වායුය. ස්වභාවික වායු මිල ඉහළ යද්දී, රටවල් රැසක් ගෑස් භාවිතය අතහැර ඛනිජ තෙල් (ඩීසල්) භාවිතයට යොමු විය. ඒ, විදුලිබලය උත්පාදනය සඳහාය. 'කොවිඩ් 19' වසංගතයෙන් පසු කර්මාන්ත යළි ආරම්භ වීම, 'ඔපෙක්' සංවිධානය නිෂ්පාදන සීමා ලිහිල් නොකිරීම ආදී කරුණු කාරණා හේතුවෙන් තෙල් මිල ඉහළ ගියේය.
මේ අතරතුරේ රටවල් බොහොමයක් ගල් අගුරු භාවිතයට යොමු විය. ඒ, ස්වභාවික වායු සහ තෙල් මිල ඉහළ ගිය බැවිනි. ගල් අඟුරු භාවිතය වැඩි කිරීම පරිසරයට හිතකර නොවෙයි. කළ යුත්තේ හැකිතාක් ගල් අගුරු භාවිතය අවම කර ගැනීමය. හේතුව ගල් අඟුරු යනු ඉතාමත් අපවිත්‍ර බලශක්ති උත්පාදකයක් වන බැවිනි. වායු ගෝලයට විශාල වශයෙන් අහිතකර ද්‍රව්‍ය මුදා හැරීමක් සිදුවන්නේ ගල් අගුරු භාවිතයට ගැනීමෙනි. මේ වනවිට ලෝකයේ ගල් අඟුරු වෙෙළඳපොළ ද අස්ථාවර තත්ත්වයකට පත් වී තිබේ.
රටින් රටට විවිධාකාරයෙන් මෙම අර්බුද බලපෑම් එල්ල කරන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. නිවෙස්වල පරිහරණයට ගන්නා එල්.පී. ගෑස් හිඟය හේතුවෙන් රටවල් මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් වාර්තාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ පළ වී ඇත. එහි සඳහන් අන්දමට අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ වැසියන් එල්.පී. ගෑස් භාවිතයට නොගන්නා බවත්, ඔවුන් ආහාර පිසීමේ කටයුතු සඳහා වෙනත් නොදියුණු ක්‍රම භාවිතයට ගන්නා බවත් පැවසෙයි.
ලොව ප්‍රධානතම භාණ්ඩ නිෂ්පාදකයා වන චීනය මේ වනවිට අර්බුද රැසකට මුහුණ දෙයි. ආර්ථික විශේෂඥයන්ට අනුව, ඉදිරියේදී චීන නිෂ්පාදන සැලකිය යුතු අන්දමින් පහළ යනු ඇත. චීනය, බලශක්ති උත්පාදනයට තවමත් යොදා ගන්නේ ගල් අගුරුය. මේ වනවිට චීනයේ, ප්‍රාන්ත 20 ක විදුලිය කප්පාදු කිරීම් සිදුවෙයි. ඒ, අඛණ්ඩව විදුලිය සැපැයීම කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවිනි.
පසුගිය කාලයේ චීන ගල් අගුරු පතල් සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් පෙන්නුම් කරන්න විය. ඒ, පළාත් රැසක හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් පතල් අනතුරු සිදුවීමත් සමඟය. ඒ අනුව ගල් අඟුරු නිෂ්පාදනය ද අඩාල වී තිබුණි. ඉන්පසු චීනයට බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවූයේ මෙවැනි තත්ත්වයක් යටතේය. ලෝක වෙළෙඳපොළෙන් ගල් අගුරු මිලදී ගැනීමේ දී චීනයට අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත.
චීනය ඛනිජ තෙල් ද බලශක්ති නිෂ්පාදනයට යොදා ගන්නා අතර, එයත් මේ වනවිට ඉහළ යමින් පවතී. චීනයට මේවනවිට ගල් අගුරු සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ ඉතා ඉහළ මිල ගණන් යටතේය. චීනය විදුලි බිල හෝ ඉන්ධන මිල හෝ වැඩි කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම අවම කරමින්, සේවා සැපැයුම් කප්පාදු කිරීම සිදු කර ඇත. අඛණ්ඩව විදුලිය ලබා නොදෙන්නේ ද එහෙයිනි. ඉදිරියේ දී මෙය නිෂ්පාද ක්‍රියාවලිය අඩාල කිරීමට හේතුවෙක් වනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසය.
පෞද්ගලිකව විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) යොදා ගනිමින් විදුලිය උත්පාදනය කර ගන්නා සමාගම් පවා ගැටලුවලට මුහුණ දෙයි. ඒ, ජෙනරේටර් භාවිතයේ දී ඔවුන්ට ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීමය. එවිට අතිරේක පිරිවැයක් එකතු වන බැවින්, නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔවුන්ට ලාබ ලැබෙන්නේ නැත.
චීනයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙද්දී එහි බලපෑම එල්ල වන්නේ ඇමෙරිකාව සහ යුරෝපා රටවලටය. ඊට හේතුව, චීනයෙන් සැපැයුම් ලබා ගන්නා රටවල් වන්නේ ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ යුරෝපා රටවල්ය. මෙම රටවල් ද ආර්ථික සහ බලශක්ති අර්බුදවලට මුහුණ පා සිටී. එලැඹෙන නත්තල් සමය නිමිත්තෙන් චීනයෙන් ඇණවුම් කළ නිෂ්පාදන නිසි වේලාවට නෙලැබේවි යැයි බියක් නිර්මාණය වී ඇත. නත්තල් සමයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විවිධ අඟහිඟකම්වලට ලක්වනු ඇති බවට ද අනාවැකි පළ වී තිබේ.
මේ වනවිට ඇමෙරිකාව ද ඔවුන්ටම ආවේණික අර්බුදවලට මුහුණ දෙමින් සිටී. ආසියාවේ සිට ඇමෙරිකාවට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නැව්, ලොස් ඇන්ජලීස් සහ ලොංග්බීච් වරායවලට පැමිණෙන අතර මේ වනවිට එම නැව් විශාල තදබදයකට ලක් වී ඇත. වරායේ දිගු පෝලිම්වල නැංගුරම්ලා ඇති නැව්වල ඇති බඩු භාණ්ඩ ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
'කොවිඩ් 19' නිසා වරායේ කටයුතුවලට එල්ල වුණු බාධා, සේවකයන්ගේ හිඟකම, 'කොවිඩ් 19' සංකූලතා මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බව ඇමෙරිකන් බලධාරීහු පවසති. ඇමෙරිකා වරය ආශ්රිත සැපැයුම් ජාලය සම්බන්ධයෙන් හටගත් මෙම අර්බුදය ඇමෙරිකාවේ ඇතැම් නගර සහ ප්‍රාන්තවල භාණ්ඩ හිඟයක් නිර්මාණය කර තිබේ. නත්තල් සමයේ දරුවන්ට අවශ්‍ය සෙල්ලම්බඩු හිඟයක් ඇතිවේවි යැයි ද පැවැසෙයි. මේ වනවිට චීනයෙන් අපේක්ෂා කළ මට්ටමට සෙල්ලම් බඩු ඇමෙරිකන් වෙළෙඳපොළට ලැබී නැති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අධි තාක්ෂණික නිෂ්පාදනය, විශේෂයෙන් පරිගණක චිප් නිෂ්පාදනය ද බරපතල ලෙස අර්බුදයකට ලක් වී ඇත. පරිගණක චිප් නිෂ්පාදන ක්‍රියාවලියට චීනය දකුණු කොරියාව සහ ජපානය සම්බන්ධ වී සිටී. අපනයන කටයුතු කෙසේ වෙතත් මෙම රටවලට ඔවුන්ගේ දේශීය නිෂ්පාදන කටයුතු පවා නියමිත පරිදි සිදු කරගෙන යෑම ගැටලුවක් වී ඇතැයි පැවැසෙයි. මෙසේ නිෂ්පාදන කටයුතු අඩාලවීම් ආරම්භ වූයේ පසුගිය 2020 වසරේදීය. එයි බලපෑම මෙම 2021 වසරේදීත්, ඉදිරි වසරවලදීත් දකින්න ලැබෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පරිගණක චිප නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙද්දී, ලොව ප්‍රධාන පෙළේ නවීන තාක්ෂණය යොදා ගන්නා නවීන පන්නයේ ස්වයංක්‍රීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් ද ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කප්පාදු කර තිබේ. ඒ අනුව, කප්පාදු කිරීම්වලට අමතරව, ඇතැම් වාහන නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නවත්වා දැමීමට නිෂ්පාදන සමාගම් තීරණය කර ඇත. අධි තාක්ෂණයක් භාවිතයට නොගත්තත් ඉන්දියාවේ 'මරුටි සුසුකි' මෝටර් රථ සමාගම පවා නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ නිෂපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය වී ඇති බවය.
බී.බී.සී. ඇසුරිනි