සෙනෙට් මණ්ඩලයත් බයිඩන්ගේ ජය තහවුරු කරයි



ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය, ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිගත් බව ඊයේ (16) වාර්තා විය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

සෙනෙට් කණ්ඩායමට නායකත්වය දෙන්නේ රිපබ්ලිකන් පක්ෂයේ මිච් මැක්කොනෙල්ය. ඊයේ (16) ඔහු බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිගන්නා බව පවසමින්, බයිඩන්ට සුබ පැතුවේය. මැක්කොනෙල්, ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙකි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. ජනාධිපතිවරණය ජය ගැනීමට නම්, ඇමෙරිකන් ඡන්ද ක්‍රමය අනුව, ඊට ඉදිරිපත් වුණු ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ට ඡන්ද ගණ (ඉලෙක්ට්‍රොරල්) ඡන්ද 270 සීමාව පසු කළ යුතුවිය. බයිඩන් ඡන්ද 300 කට වඩා හිමිකර ගත් අතර ට්‍රම්ප්ට හිමිවූයේ 232 ක් පමණි.

ට්‍රම්ප්, ඡන්ද ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් අධිකරණයේ පිහිට පැතුවේය. ඒ අනුව, ඇමෙරිකන් මැතිවරණ කොමිසමට නිල වශයෙන් බයිඩන් ජයග්‍රාහකයා ලෙස නම් කළ නොහැකි විය. අධිකරණය අවසන් තීන්දුව ලබා දුන්නේ ට්‍රම්ප්ට අවාසි ලෙසය. ඒ අනුව, බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වුණු බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. සෙනෙට් කණ්ඩායමේ නායක මිච් මැක්කොනෙල්, බයිඩන් නව ජනාධිපති ලෙස පිළිගත්තේත්, ඔහුට සුබ පැතුවේත් ඒ අනුවය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව (කොංග්‍රසය) සෙ‍ෙනට් මන්ත්‍රී මණ්ඩලයකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විතය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට සෙ‍ෙනට් මණ්ඩලයේත්, නියෝජිත මණ්ඩලයේත් අනුමැතිය අවශ්‍ය වෙයි. සෙ‍ෙනට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය රිපබ්ලිකන්වරුන් සතුවන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ඩිමොක්‍රටික්වරුන් අතරේය.

කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් තවමත් පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 20 වැනිදාය. ට්‍රම්ප් දිගින් දිගටම බයිඩන් ප්‍රතික්ෂේප කරන්නේ නම්, 20 වැනිදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට ට්‍රම්ප්ට ඇරැයුම් නොකෙරෙනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS