රුසියාවට සම්බාධක පැනවෙයි
රුසියානු-යුක්රේනය අර්බුදය උත්සන්න වෙමින් තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සන්ධානය රුසියාවට සම්බාධක පනවා තිබිණි.
රුසියානු මූල්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් ගනුදෙනුවලට සහ වෙළෙඳපොළ, බලශක්ති අපනයන සහ මූල්‍ය යනාදී ක්ෂේත්‍රවලින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වන අයුරින් මෙම සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබිණි.
රුසියාවේ සමස්ත ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ඉක්ම වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් දැවැන්ත රුසියානු ආර්ථිකය ගෝලීය වාණිජ්‍යයෙන් ඉවත් කරන්නේ කෙසේ දැයි ගැටලුවක් ද පැන නැගී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ මිත්‍ර රටවල් සියල්ල සමඟ එක්ව සම්බාධක පැනවූව ද කොතරම් පීඩනයක් රුසියාවට එල්ල කළ හැකි වේවිදැයි නිශ්චිතව සඳහන් කළ නොහැක.
රුසියාව 2014 වසරේ දී ක්‍රිමියාව අත්පත් කර ගත් අවස්ථාවේ දී බටහිර රටවල් සම්බාධක පැනවූ අතර එම සම්බාධක ප්‍රමාණය, ප්‍රමාණයෙන් කුඩා විය. ඒ අවස්ථාවේ දී රුසියාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්ව ඇත්තේ චීනය යැයි ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වෙළෙඳ දත්ත සමාලෝචනයක දැක්වේ.
නව සම්බාධක පැනවීම මඟින් රුසියාව, ඇමෙරිකානු ඩොලර්වලින් චීනය සමඟ වෙළෙඳ සම්බන්ධතා තවදුරටත් වැඩි හා පුළුල් වනු ඇතැයි හැරි බ්‍රෝඩ්මන් පැවැසීය. හෙතෙම ඇමෙරිකා එක්සත් හිටපු වෙළෙඳ නියෝජිතයකු මෙන්ම ලෝක බැංකුවේ හිටපු නිලධාරියකු ද වේ. ඔහුට චීනය සහ රුසියාව සම්බන්ධයෙන් විශේෂඥ අත්දැකීම් ඇත.
“සම්බාධක පැනවීමේදී, විශේෂයෙන්ම රුසියාව වැනි තෙල් නිෂ්පාදනය කරන රටකට සම්බාධක පැනවීමේදී සමස්ත පද්ධතිය තුළ කාන්දුවක් ඇති වෙන්න පුළුවන්. චීනය කියලා හිතමු. චීනය තෙල් මිලදී ගෙන වෙළෙඳපොළක් නිර්මාණය කරනවා. හිතන්න ඒක රුසියාවේ තෙල් වෙන්න පුළුවන්” හෙතෙම කීය.
රුසියාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා සම්බාධක පැනවීය. හෙතෙම ඒ සඳහා විධායක නියෝගයක් ද නිකුත් කළේ ය. ඉදිරියේදී ඇමෙරිකාව, රුසියාවට තවදුරටත් සම්බාධක පනවනු ඇතැයි ද ධවල මන්දිරය සඳහන් කළේ ය. රුසියාවේ දෛනික විදේශ විනිමය ගනුදෙනුවලින් සියයට 80ක් සිදුවන්නේ ඇමෙරිකානු ඩොලර්වලින් වන අතර ඔවුන්ගේ වෙළෙඳාමෙන් අඩක් සිදු කෙරෙන්නේ ද ඩොලර්වලිනි.
රුසියාව, යුක්රේන වෙනම කලාප දෙකක් නම් කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සම්බාධක පනවන බවත් ඒවායේ තරම ඔවුන්ට තේරීමට ඉඩ හරින බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.
කෙසේ නමුත් එය කියන තරම් පහසු නොමැති බව පෙනී යයි. ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් ද ඒ බව පෙන්වා දී ඇත.
රුසියාවේ ලොව ප්‍රධාන පෙළේ ඉන්ධන අපනයනකරුවකු මෙන්ම ස්වභාවික ගෑස්, ඇලුමීනියම්, සහ තඹ මෙන්ම තවත් වැදගත් හා ප්‍රධාන අපනයන වර්ග වෙළෙඳපොළට නිකුත් කරන ප්‍රධාන පෙළේ අපනයනකරුවෙකි. ඉකුත් 2014 වසරෙන් පසු බොරතෙල් මිල ගණන් ද වාර්තා ගත ලෙස ඉහළ ගියේ ය.
රුසියාව 2020 වසරේ දී ගෝලීය ආර්ථිකයෙන් සියයට 1.9කට හිමිකම් කී අතර 2013 වසරේ දී එය සියයට 2.8ක් වූ බව ලෝක බැංකුවේ දත්ත සඳහන් කරයි. දළ දේශීය නිෂ්පාදිතය අතින් රුසියාව 2020 වසරේ දී ලොව 11 වැනි තැන පසු වූ අතර බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර පසුවෙයි.
පසුගිය වසර 20 කාලයේ දී රුසියාව වෙළෙඳාම මත යැපීම අඩු වී ඇතැයි ලෝක බැංකුවේ ලෝක/ජාත්‍යන්තර වෙළෙඳ විසඳුම් දත්ත ගබඩාවේ සමාලෝචනයක දැක්වේ.
රුසියාවේ අපනයන වෙළෙඳපොළ ද වෙනස් වී තිබේ. තෙල් වෙළෙඳාම නිසා මීට දශකයකට පෙර රුසියාවේ අංක එකේ අපනයන නවාතැන වූයේ නෙදර්ලන්තය යි. එහෙත් අද චීනය එම තැනට පත්ව ඇත. ජර්මනිය සහ බ්‍රිතාන්‍ය රුසියාවෙන් කරන ආනයන ස්ථාවර මට්ටමක පවතින අතරම බෙලරුසියාව රුසියාවෙන් කරන ආනයන වැඩි වී තිබේ.
රුසියාවේ ප්‍රධානම ආනයන වෙළෙඳපොළ වන්නේ ද චීනය යි. රුසියාව ජංගම දුරකතන, පරිගණක, විදුලි සංදේශ, සෙල්ලම් බඩු, ඇඟලුම්, සහ විදුලි උපකරණ යනාදිය චීනයෙන් ගෙන්වයි.
පසුගිය 2014 වසරේ සිට ගත වූ කාලයේ දී රුසියාව ජර්මනියෙන් කරන ආනයන අඩු වුව ද ජර්මනිය රුසියාවෙන් කරන ආනයන වැඩි වී තිබේ. පසුගිය දශකයක කාලයේ දී යුක්රේනය චීනයට කළ අපනයන අඩු වී තිබෙන අතර බෙලරුසියාව චීනයට කළ අපනයන තරමකින් වැඩි වී තිබේ.
යුක්රේනය 2020 වසරේදී වැඩි වශයෙන් රුසියාවට යවා ඇත්තේ ඇලුමීනියම් ඔක්සයිඩ්, දුම්රිය උපකරණ/උපාංග, ගල් අඟුරු, යකඩ/වානේ සහ යුරේනියම් යැයි ලෝක බැංකුවේ දත්ත සඳහන් කරයි.
(රොයිටර්)