රුසියාවට පහර දෙන්න බටහිර රටවල් සීරුවෙන්



රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව නේටෝ සංවිධානයට අයත් ඇමෙරිකාව, කැනඩාව ඇතුළු සෙසු යුරෝපා රටවල් සීරුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

යුක්රේනය යනු සෝවියට් සමූහාණ්ඩුය පැවැති අවදියේ දී රුසියාවට අයත් කොටසකි. යුක්රේනය වෙනම රාජ්‍යයක් වීමෙන් පසු වඩාත් සමීප වී සිටින්නේ යුරෝපා බටහිර රටවලටය. රුසියාව සමඟ එක් වීමට කැමැතියි යැයි පවසන යුක්රේන බෙදුම්වාදීහු ද යුක්රේනයේ සිටිති.

යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවුණත්, නේටෝ සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වයි. රුසියාව පෙන්වා දෙන්නේ මෙය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය. මේ වනවිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් සොල්දාදුවෝ දහස් ගණනක් යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටිති.

ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කරන්නේ, රුසියාව යුක්රේනය අක්‍රමණය කිරීමට සූදානමින් සිටින බවය. කෙසේ නමුත් රුසියාව තරයේ පවසා ඇත්තේ තමන්ගේ එවැනි අදහසක් නොමැති බවය.

මේ අතර පවතින අර්බුදය ගැන තවත් සාකච්ඡාවටයක් පැවැත්වීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ් අතරේ මුහුණට මුහුණ හමුවක් ඊයේ (21) ජිනීවා නුවරදී පැවැත්විමට නියමිතව තිබුණි

හමුවට සහභාගී වීමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ, රුසියාව යුක්රේනයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත්තොත්, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ඉතා ඉක්මනින් රුසියාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවය.

මේ වනවිටත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය රුසියාව විසින් අත්පත් කරගෙන තිබේ. ඒ, ක්‍රිමියාවේ සිටින රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද දහාය ඇතිවය. රුසියාව ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළ අවස්ථාවේදී ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. උප ජනාධිපති ලෙස කටයුතු කළේ වත්මත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS