බ්‍රිතන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති අස්වෙති



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ.

රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත්තේ, රජයෙන් ඉවත් වීමට ලැබීම කනගාටුවක් බවත්, පවතින වාතාවරණය යටතේ තමන්ට තම දුරටත් තම ධුරයේ රැඳී සිටිය නොහැකි බවත්ය.

‘දක්ෂ සහ ශක්තිමත් මෙන්ම විශ්වාසවන්ත රජයක් ජනතාව අපේක්ෂා කරනවා. ඒත් එවැනි රජයක් පවතිනවා යැයි මට පෙනෙන්නේ නැහැ. මා ධුරයෙන් ඉවත් වෙනවා. මෙය මා අමාත්‍ය ධුරයක් හොබවන අවසන් අවස්ථාව වන්න පුළුවනි. සිතට එකඟව මට මගේ ධුරයේ රැඳී සිටින්න බැහැ’ යනුවෙන් ද රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි වැඩි දුරටත් සඳහන් වී තිබේ.

මුදල් අමාත්‍ය රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ් ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කෙරෙහි ඔවුන් තුළ ඇති වුණු අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වීම හේතුවෙන් යැයි බ්‍රිතාන්‍ය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තවත්  අමාත්‍යවරුන් බොහෝ දෙනකු ද අග්‍රාමාත්‍ය ජොන්සන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අප්‍රසාදය පළ කර ඇතැයි පැවැසෙයි.

‘ඔබ කෙරෙහි මා තැබූ විශ්වාසය නැතිවුණා. ඔබගේ නායකත්වය යටතේ තව දුරටත් වෙනසක් අපේක්ෂා කළත්, එසේ වෙනසක් නොවන බව පැහැදිලියි. ඒ ගැන පවසන්න සිදුවීම කනගාටුවක්. මා ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසයි.’ යැයි සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වෙයි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නායකත්වය දෙන්නේ, කොන්සවර්ටිව් පක්ෂයටය. ‘කොවිඩ්’ වසංගත සමයේ රට ලොක්ඩවුන් කර, ජනතාව නිවෙස්වලට කොටු කර තිබියදී, අග්‍රාමාත්‍ය ජොන්සන්, ඔහුගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් අවස්ථා කීපයකදී රහසේ මධුවිත සාද පැවැත්වීය. උපන් දින සාදයක් ද ඒ අතර විය. සාද පැවැත්වීම සිදුවූයේ අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.‍

අග්‍රාමාත්‍ය ජොන්සන්, සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, ඔහුගේ රජය විසින් පනවනු ලැබූ සෞඛ්‍ය තහංචි උල්ලංඝනය කරමින්, සාද පැවැත්වීම පාර්ලිමේන්තුවට අනාවරණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් පවා ඒ ගැන දැනගත්තේ එම අනාවරණයෙන් පසුවය.

මුලදී විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළත්, සාක්ෂි ඉදිරිපත් වෙද්දී තමන් රහසේ මධුවිත සාද පැවැත්වූ බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පිළිගත්තේය. පොලිස් පරීක්ෂණයක් ද ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ජොන්සන් පාර්ලිමේන්තුවෙන් සහ සිය කොන්සවර්ටිව් පක්ෂයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද සමාව ඉල්ලීමක් කළේය.

නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් දඩ ගෙවීමක් ද කළේය. කොන්සවර්ටිව් පක්ෂය තුළින් අග්‍රාමාත්‍ය ජොන්සන්ට එරෙහි අප්‍රසාදයක් ගොඩ නැගෙන්න වූයේ ඒ අනුවය. එසේ අප්‍රසාදය පළ කළ ජොන්සන්ගේ රජයේ ප්‍රබලයන් දෙදෙකු වන්නේ රිෂී සුනාක් සහ සජීද් ජාවඩ් ය‍.

මීට අමතරව, දූෂණ චෝදනා එල්ල වී ඇති ක්‍රිස් පින්චර් නමැති මන්ත්‍රීවරයාට පසුගිය දා රජයේ තනතුරක් පිරිනැමීමට ද අග්‍රාමාත්‍ය  බොරිස් ජොන්සන් කටයුතු කළේය. තම ධුරය අවභාවිතයට ලක් කළ ක්‍රිස් පින්චර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ විනය පරීක්ෂණයක් හෝ නොපවත්වා ඔහුට රජයේ ඉහළ තනතුරක් ලබා දීම අනුමත නොකරන බව රිෂී සුනාක් සහ සජීද් ජාවඩ් පවසා තිබේ.

පුරප්පාඩු වුණු මුදල් අමාත්‍ය ධුරයට, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඉරාක කුර්දි සම්භවයක් ඇති නදීම් සවාහී නම් කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය. මුදල් අමාත්‍ය ධුරය නදීම් සවාහී ලබා දීම සම්බන්ධයෙන් දෙවැනි එලිසබත් මහ රැජිනගේ ද අනුමැතිය හිමිවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය  වාර්තා කර තිබේ. මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණු රිෂී සුනාක්, ඉන්දීය සම්භවයක් ඇති අයකු වන අතර සජීද් ජාවඩ් පාකිස්තාන සම්භවයක් ඇති අයෙකි.

මේ අතර, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් බ්‍රිතාන්‍ය ‘කණිෂ්ඨ අධ්‍යාපන ඇමැති’ විල් ක්වීන්ස් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බවත්, අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත යොමු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS