පුටින්ටත් සම්බාධක දානවා



රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.

‘රුසියන් ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය කළහොත්, පෞද්ගලිකව ඔහුට විරුද්ධව සම්බාධක පැනැවීමක් කරන්න මා සූදානම්’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඊට අමතරව, රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය ජගත් දේශපාලනයේ මහා අවුල් ජාලයක් නිර්මාණය කරනු ඇතැයි ද ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, යුක්රේන රජයට සහ හමුදාවට සහාය දක්වමින්, රුසියානු හමුදාව සමඟ සටන් වැදීමට ඇමෙරිකන් සොල්දාදුවන් 8,500 දෙනකුගෙන් සමන්විත බළඇණියක් සීරුවෙන් තබා ඇතැයි ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම බළඇණිය යුක්රේනයට යවනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙතෙක් කිසිවක් පවසා නැත.

මේ වනවිට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදෙස් අනුව, යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටින රුසියන් සොල්දාදුවන් ගණන ලක්ෂයක් බව පැවැසෙයි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය සැක කරන්නේ, රුසියාව කොයි මොහොතේ හෝ යුක්රේනය ආක්‍රමණය කරමින්, එරටට එරෙහිව යුදමය ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඇමෙරිකා හිතවාදී යුරෝපා රටවල නායකයන් අතරේ වීඩියෝ කතාබහක් පැවැත්වුණු අතර, එහිදී යුරෝපා නායකයෝ රුසියාවට එරෙහිව ඇමෙරිකාව සමඟ එක් වී කටයුතු කිරීමට ප්‍රතිඥා දුන්හ.

යුක්රේනය සහ රුසියාව අතර යුද උණුසුම ඉහළ යද්දී, ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ජර්මනිය ආදී රටවල් යුක්රේනයේ කීව් අගනුවර පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාල නිලධාරීන්ට දැනුම් දුන්නේ වහා යුක්රේනයෙන් පිටවන ලෙසත්, යුක්රේනයට යෑමෙන් වළකින ලෙසත්ය.

නේටෝ සාමාජිකයකු නොවුණත්, යුක්රේනය නේටෝව සමඟ සමීප සබඳතා පවත්වයි. රුසියාව පවසන්නේ එය ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය. දේශසීමාවේ රුසියන් හමුදා රඳවා ඇත්තේ මේ නිසාය. යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු අදහසක් තමන්ට නැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS