නැගෙනහිර යුරෝපයේ කොරෝනා වැඩිවෙයි



නැගෙනහිර යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ඊයේ (24) වනවිට මිලියන 20 සීමාව පසු කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නැගෙනහිර යුරෝපයට අයත් රටවල් බොහොමයක එන්නත්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවෙයි. ආසාදිතයන් වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ එයයි.

ඊට අමතරව, ඒම රටවල 'කොවිඩ් 19 ඩෙල්ටා ප්ලස්' විකෘති වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තිය ද සිදුවෙමින් පවතී.
නැගෙනහිර යුරෝපා රටවල් අතරින් වේගවත් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ හංගේරියාවේ යැයි පැවැසෙයි.

හංගේරියානු රජය සහ සෞඛ්‍ය අංශ ඒරට ජනගහනයෙන් සියයට 62 කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව වාර්තා වේ. යුක්රේනයේ එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 19 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. අද නැගෙනහිර යුරෝපා රටවලින් දරුණු ලෙස 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන රටක් ලෙස යුක්රේනය සැලකෙයි.

නැගෙනහිර යුරෝපා රටවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන 80,000 පසු කර ඇත. මීට පෙර මේ අයුරින් නැගෙනහිර යුරෝපා රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ පසුගිය 2020 නොවැම්බරයේය.

ආසියා මහද්වීපයට අයත් වුවත් රුසියාව සැලකෙන්නේ ද නැගෙනහිර යුරෝපා රාජ්‍යයක් ලෙසය. රුසියාවේ 'කොවිඩ් 19' තත්ත්වය ද දිනපතා දරුණු වෙමින් පවතී. දෛනිකව, මරණ 1,000 ඉක්මවා වාර්තා වන අතර, දෛනික ආසාදිතයන් ගණන වාර්තා වන්නේ 30,000 ඉක්මවමිනි.

ආසාදිතයන් සහ මරණ සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රුසියාවේ වැඩ නොකරන සතියක් ක්‍රියාත්මක කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. ඒ අනුව, එලැඹෙන ඔක්තෝබර් 30 වැනි දා සිට නොවැම්බර් 7 වැනි දා දක්වා වැඩ නොකරන සතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

එන්නත් ලබා නොගන්නා 60 ට වැඩි වැඩිහිටියන් ඉදිරි මාස 4 ක කාලය නිවසේ රැඳී සිටිය යුතු බවටත් ආයතනවල සේවක සංඛ්‍යාවෙන් සියයට 30ක් නිවසේ සිට රාජකාරී කළ යුතු බවටත් මොස්කව් නගර බලධාරීන් නියෝග කර ඇත. වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මොස්කව් අගනුවරිනි. 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් රුසියාව පසුවන්නේ පස්වැනි ස්ථානයේය.

රොමේනියාව ද 'කොවිඩ් 19' වසංගතයේ බලපෑමට දැඩි ලෙස මුහුණ දෙන නැගෙනහිර යුරෝපා රාජ්‍යයකි. රොමේනියානු මාධ්‍ය වාර්තා අනුව, එරට සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇත. රොමේනියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 1.5 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 44,000 ක් ලෙසය.

'කොවිඩ් 19' ඩෙල්ටා' විකෘතියේ අනු ප්‍රභේදයක් ලෙස සැලකෙන 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය ගැන තමන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බවත්, මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් 'ඩෙල්ටා ප්ලස්' සම්බන්ධයෙන් පවත්වන පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, AY.4.2 යන නිල නාමයෙන් හැඳින්වෙන 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය, බිහිසුණු මෙන්ම මාරක වයිරස විකෘතියක් වීමට ඉඩ ඇතැයි පෙන්වා දී, එම විකෘතිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කළේ මීට මාස කීපයකට පෙරය.

ඒ, 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය අප්‍රේල් මාසයේ ඉන්දියාවෙන් පළමු වරට හමුවීමත් ඉන්පසු එය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීමට පටන් ගැනීමත් සමඟය. අද ලොව ප්‍රධානතම 'කොවිඩ් 19' වයිරස විකෘතිය ලෙස සැලකෙන්නේ 'ඩෙල්ටා' ය. ඒ, 'ඇල්ෆා' විකෘතිය අභිබවා යමින් 'ඩෙල්ටා' බලවත් වී ඇති නිසාය. 'ඩෙල්ටා' ආරම්භය සිදුවූයේ ද ඉන්දියාවෙනි.

ඒ, පසුගිය 2020 වසර අවසානයේය. 'ඩෙල්ටා' විකෘතිය ඉන්දියව කලඹද්දී, එය තවත් විකෘතිකරණයට ලක් වී, වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරන සහ එන්නත්වලට ඔරොත්තු නොදෙන 'ඩෙල්ටා ප්ලස්' වයිරසය නිර්මාණය විය.

(රොයිටර්)

 


RECOMMEND POSTS