තලේබාන් නව රජයට රුසියාවේ චීනයේ සහාය



තලේබාන්වරුන් පිහිටුවන නව රජය සමඟ මිත්‍රශීලීව සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව රුසියාවත් චීනයත් පවසා ඇත.

1979 වසරේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී, සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර, ඔවුන්ට හිතවත් කොමියුනිස්ට් පාලනයක් ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත කළහ. ඇමෙරිකාවේ සහාය ලැබ එම පාලනයට එරෙහිව සටන් වැදුණු මුජහදීන්වරුන් පසුව, තලේබාන් බවට පත් විය.

සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානය අතහැර ගියේ 90 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දීය. තලේබාන් සංවිධානය ඇෆ්ගන් සිවිල් යුද්ධයට සම්බන්ධ වී, පසුව රටේ පාලනය අත්පත් කර ගනිමින් ඇෆ්ගන් ඉස්ලාමික් එමිරේට්ස් රාජ්‍ය පිහිටවූයේ ඉන්පසුවය.

පසුගිය වසර කීපය පුරාවට රුසියාව සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයන් අතරේත්, තලේබාන් සාම කාර්යාලයේ නියෝජිතයන් අතරේත් සාම වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡා කෙරුණි. තලේබාන් සංවිධානය ඒ සෑම අවස්ථාවකදීම එක හෙලා කියා සිටියේ, බටහිර අනුග්‍රහය ලබන ඇෆ්ගන් ජනාධිපති බලයේ සිටිනතුරු තමන් කිසිදු සාම වැඩපිළිවෙළකට එකඟ නොවන බවය.

තලේබාන්වරුන් පවසා ඇත්තේ ජනතාවට හිතැති, ජාත්‍යන්තරය සමඟ සමීප සබඳතා පවත්වන මිත්‍රශීලී සාමකාරී මධ්‍යස්ථ ප්‍රතිපත්ති දරණ රජයක් පිහිටුවන බවය. තල්බාන්වරුන් දැඩි මූලධර්මවාදීන් පිරිසක් වන අතර ඔවුන් ඔවුන්ටම ආවේණික ආකාරයේ ෂරියා නීතියක් මීට පෙර ක්‍රියාත්මක කර තිබුණි.

තලේබාන් නව රජය පිළිගනිමින්, තලේබාන් සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට තමන් සූදානම් බව චීනය පවසද්දී, තලේබාන් සංවිධානය ද පෙරළා පවසා ඇත්තේ තමන් ද චීනයට සමීප වීමට කැමැත්තෙන් පසුවන බවය.

මීට මාස කීපයකට පෙර, ඇෆ්ගන් තලේබාන් නියෝජිතයන් කණ්ඩායමක් සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතර හමුවක්, උතුරුදිග චීනයේ ටියැංජියැං නගරයේ පැවැත්විණි. තලේබාන් සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත එම නියෝජිත කණ්ඩායම, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු දිග චීනයට පැමිණියේ පාකිස්තානය හරහා පාකිස්තාන රජයේ ද විශේෂ අනුග්‍රහයක් යටතේ යැයි විදෙස් පුවත් සේවා එම අවස්ථාවේදී වාර්තා කළේය.

තලේබාන් සාමාජිකයන් සහ චීනය අතර යහපත් සබඳතා ඇති කිරීමේදී නිල නොලත් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි.

තලේබාන් නව රජය සමඟ එක් වෙමින්, ඇෆ්ගන් වැසියන්ගේ යටිතල පහසුකම් නංවමින්, එරට සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වීමට චීනය බලාපොරොත්තු වෙයි. චීනය, පාකිස්තානය හරහා අරාබි මුහුද දක්වා ඔවුන්ගේ නව සේද මාර්ගය පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, එම සේද මාවත වැටී ඇත්තේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හරහාය. මේ වනවිටත් පාකිස්තානයේ චීන අනුග්‍රහයෙන් අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී. ඒ, ඒවා ඇෆ්ගනිස්තානයට සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙනි.

මේ අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් පාකිස්තාන, ඉන්දීය, රුසියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් සමඟ ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මහ්මූද් කුරේෂි, ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සමඟ මෙලෙස දුරකතන ඇමතුම් ලබාදෙමින් ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව ඇමෙරිකානු හා එම රටවල පුරවැසියන් ගෙන්වා ගැනීම, අවදානම් තත්ත්වයේ සිටින ඇෆ්ගන් වැසියන්ට සහාය දීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS