උතුරු කොරියාවට එන්නත් දෙන්න කැමැත්තෙන්



'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන උතුරු කොරියාවට 'කොවිඩ් 19" ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කිරීමට තමන් සූදානම් යැයි දකුණු කොරියාවට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. කෙසේ නමුත්, උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් පවසා නැත.

උතුරු කොරියාවේ 'උණ රෝගයක්' ව්‍යාප්තවීම ආරම්භ වූ බව පැවැසෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. මෙම 'උණ රෝගය' 'කොවිඩ් 19' බව තහවුරු වී ඇති අතර, මේ වනවිට එරට මිලියන 2.5 කට මෙම 'උණ රෝගය' ආසාදනය වී ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ කඩිනමින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙසය. ඒ අනුව, හමුදාවේ ද සහාය ඇතිව රටේ නගර සහ පළාත් වෙන වෙනම 'ලොක්ඩවුන්' කර ඇතැයි වාර්තා වේ.

'අප උතුරු කොරියාවට පමණක් නොවෙයි, චීනයටත් ඇමෙරිකාවේ නිපදවූ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කරන්න සූදානම්. එහෙත් චීනය ඒ ගැන උනන්දු නැහැ. උතුරු කොරියානුවන්ගෙන් තවමත් අපට පිළිතුරක් නැහැ' යැයි බයිඩන් පැවැසුවේ සෝල අගනුවර මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේ ඊයේ (21) ය. නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.

'කොවිඩ් 19' කොරෝනා වංසගතයෙන් බේරීමට උතුරු කොරියානුවන් ඖෂධීය තේ පානයට යොමු වී සිටින බවත්, ලොකු කුඩා කවුරුත් ලුණු වතුරින් උගුර සෝදා පිරිසුදු කරන බවත් වාර්තා වේ.

උතුරු කොරියානුවන් දරුණු 'කොවිඩ් 19' ව්‍යාප්තියකට මුහුණ දෙන්නේ බටහිර සම්බාධක මධ්‍යයේ අවම සෞඛ්‍ය පහසුකම් යටතේය. බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහනව හේතුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය සහ රුසියාව 2020 වසරේත් 2021 වසරේත් උතුරු කොරියානුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට උත්සහ කළත්, උතුරු කොරියා රජය එම එන්නත් ප්‍රතික්ෂේප කළේය. ඒ, ඒ වනවිට උතුරු කොරියාව සිය දේශසීමා සියල්ල වසා දමා තව තවත් ලොවෙන් හුදෙකලා වී සිටි බැවිනි.

(රොයිටර්)


RECOMMEND POSTS