ඉන්දියාවේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා



ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, උඩගෙඩි දෙන බවටත් ඉන්දියාව 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී ඉන්දියාව පාකිස්තානයට චෝදනා කිරීම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 76 වැනි මහා මණ්ඩලයට සහභාගී වූයේ ඇමෙරිකාව සමඟත් සෙසු රටවල් සමඟත් පවතින සබඳතා ශක්තිමත් කරගනිමිනි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් මෝදිට ලැබුණේ ඉහළ පිළිගැනීමකි.

බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්, ධවල මන්දිරයේ පැවැත් වුණු, 'ක්වඩ්' සමුළුවට ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහභාගී විය. එම සමුළුවට ජපාන අග්‍රාමාත්‍යවරයාත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාත් එක් වූහ. මෙම 'ක්වඩ්' සමුළුවේ දී  ද පාකිස්තානයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ආසියාවේ ත්‍රස්ත අනුගාමිකයන් හඳුනා ගැනීම සහ ඔවුන් වහා අඩපණ කිරීම අත්‍යාවශ්‍ය බවත්, එසේ නොකරන්නේ නම්, ආසියානු කලාපයට පමණක් නොව මුළු ලොවටම එම ත්‍රස්ත අනුගාමිකයන්ගෙක් තර්ජන එල්ල වීම වළැක්විය නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි එම සමුළුවේදී පෙන්වා දුන්නේය.

ආසියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සහ ඒවායේ අනුගාමිකයන්ට සහාය ලබා දෙන්නේ ද පාකිස්තානය යැයි අග්‍රාමාත්‍ය මෝදි අදහස් දැක්වූ අවස්ථාවේදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එය තහවුරු කළේය.

මිට අමතරව, මෙම සමුළුවේදී තලේබාන්වරුන්ගේ පාලනයට යළි නතු වුණු ඇෆ්ගනිස්තානය කෙරෙහි ද අවධානය යොමු විය.  ඇෆ්ගනිස්තානය ඉස්ලාමීය ත්‍රස්තයන්ගේ තිප්පොලක් නොවිය යුතු යැයි ද අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේය. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයටත්, සෙසු ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයටත් සහාය සහ අනුග්‍රහය දෙන්නේ පාකිස්තාන රජය සහ එරට අයි.එස්. බුද්ධි අංශය බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් මෝදි සමුළුවේදී පැහැදිලි කළේය.

මේ අතර, පාකිස්තානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ, ඔවුන් ත්‍රස්තවාදයට උඩගෙඩි දීම සහ අනුග්‍රහය දැක්වීම නිසා යැයි එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වුණු ඉන්දීය නියෝජිත ලේකම් ස්නේහා ඩූබී චෝදනා කළාය.

''අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසකට පාකිස්තානය සම්බන්ධයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පාකිස්තානයේ කෙරුවාව දන්නවා. අල් කයිඩා නායක බින් ලාඩන්ට සැඟවී සිටින්න අවසර දුන්නේ පාකිස්තානයයි. ඒ බව ඔප්පු වී අවසන්. පාකිස්තාන රජය සහ එරට නායකයන් සියලු දෙනා කරන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් වීරයෝ ලෙස පිළිගැනීමයි.'' යැයි ඇය වැඩි දුරටත් පැවැසුවාය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙවර මහ සමුළුවට සහභාගී වූයේ නැත. ඒ, රටේ පවතින 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි. ඔහු 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතුවේ පටිගත කරන ලද වීඩියෝ පණිඩුවයක් හරහාය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුරේ ඉන්දියාව පාකිස්තානයටත් පාකිස්තානය පෙරළා ඉන්දියාවටත් චෝදනා කිරීම සාමාන්‍ය දෙයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉන්දියාවෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ මුස්ලිම්වරුන් මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවක් ඉන්දියාවට ඇති බවත්, ඉන්දියාව මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අපරාධ ලෝකයට නොපෙනෙන බවත්ය. මුස්ලිම්වරුන්ට එරෙහි සංග්‍රාමයේ නියමුවා හින්දු ජාතිකවාදී නරේන්ද්‍ර මෝදි යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් කියා සිටියේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS