අනිද්දා බ්‍රිතාන්‍ය වැසියන්ට එන්නත ලැබෙනවා
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ වයිරස වසංගතයට මර්දනය කිරීමේ අරමුණින් නිෂ්පාදනය කෙරුණු එන්නත ජනතාවට ලබාදෙන පළමු රට වීමේ අරමුණව ඇති බ්‍රිතාන්‍ය මේ වනවිට ඊට සූදානම් වෙමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය එක්ව සංවර්ධනය කළ ‘කොවිඩ්-19’ එන්නතට පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය හිමි විය.
ඒ අනුව පළමු එන්නත් මාත්‍රා අනිද්දා (8) ලබාදීමට නියමිත ය. වෛද්‍යවරුන්ගේ සායනවලට එන්නත බෙදාහැරීමට පෙර මුලින්ම එරට රෝහල්වලට එන්නත ලබාදෙන බවත් එන්නත් ලබාදීමේ දී වයස අවුරුදු 80ට වැඩි බ්‍රිතාන්‍ය වැසියන්, ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන්, ‘කොවිඩ්-19’ සටනේදී මුල් පෙළ සිටින සෞඛ්‍ය සේවකයන් ඇතුළු අනෙකුත් වෘත්තීය ක්ෂේත්රවල සිටින සේවකයන්, සාත්තු සේවා හා නිවාසවල සිටින සේවකයන්ට ප්‍රමුඛත්වය දෙන බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ අනුව ගෝලීය එන්නත් තරගයේ සහ ඉතිහාසයේ වඩාත් තීරණාත්මක මහ පරිමාණ එන්නත් වැඩසටහනේ ආරම්භය මෙය වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
බ්‍රිතාන්‍ය මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා මිලියන 40ක් ඇණවුම් කර ඇති අතර බ්‍රිතාන්‍යයේ ජනගහනය මිලියන 67ක් වේ. ඒ අනුව දැනට ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය එරට ජනගහනයෙන් මිලියන 20කට එන්නත් කිරීමට ප්‍රමාණවත් වේ.
මුල්ම එන්නත් තොග බෙල්ජියමෙන් ගුවන් හමුදාවට අයත් යානා මගින් බ්‍රිතාන්‍යට මේ වනවිටත් ගෙනැවිත් ඇති අතර ඒවා රටපුරා තිබෙන ආරක්ෂිත ස්ථානවල ගබඩා කර ඇති බවත් බෙදාහැරීමට පෙර ඒවායේ තත්ත්වය පරීක්ෂා කරන බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ෆයිසර්/බයෝඇන්ටෙක් සමාගමේ එන්නත අවශ්‍ය උෂ්ණත්ව ප්‍රමාණයේ ගබඩා කිරීම දුෂ්කර හා බැරෑරුම් කාර්යයකි. එම එන්නත සෙල්සියස් අංශක ඍණ 70 අගයක (ෆැරන්හයිට් -94) අගයක පවත්වා ගත යුතු අතර සාමාන්‍ය ශීතකරණයක එයා තබා ගත හැක්කේ දින පහක් පමණි. මේ තත්ත්වය හේතුවෙන් එන්නත මුලින්ම රෝහල් 50කට ලබාදෙන බවත් ඒ අනුව ශීතකරණවලින් පිටතට ගෙන ඒවා ලබාදීමට ගත වන්නේ පැය කිහිපයක් පමණක් බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
රොයිටර්