වැඩිම එන්නත් ඇණවුම ඉන්දියාවෙන්



මේ වනවිට වැඩිම ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ඇණවුම් කළ රට බවට ඉන්දියාව පත්ව ඇති අතර එසේ ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියන 1.6කි.

ගෝලීය කොවිඩ්-19 එන්නත් මාත්‍රා ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩූක් විශ්වවිද්‍යාලය විශ්ලේෂණයක් කර ඇති අතර ඒ අනුව නොවැම්බර් 30 වැනිදා වනවිට වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමණයක් ඇණවුම් කර ඇති රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි.

යුරෝපා සංගමය ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියන 1.58ක් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය එම ලැයිස්තුවේ තෙවැනි තැන පසුවෙයි. ඇමෙරිකාව නොවැම්බර් 30 වැනිදා වනවිට ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියන 1.01කි.

මේ වනවිට ගෝලීයව ‘කොවිඩ්-19’ එන්නත් 200කට ආසන්න සංඛ්‍යාවක් අත්හදා බැලීම්, සායනික පරීක්ෂණ යනාදියට යොමු කර තිබේ. ඒ අතරින් ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව අත්හදා බලමින් සංවර්ධනය කළ ‘කොවිඩ්-19’ එන්නතට ඉකුත් දා, එක්සත් රාජධානියේ අවසරය හිමි විය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සායනික පරීක්ෂණවලදී සාර්ථක යැයි සහ භාවිතයට සුදුසු යැයි සහතික කරන කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීම සඳහා ලොව රටවල් පූර්ව ඇණවුම් කරමින් සිටියි.

ලබන වසරේ ජූලි-අගෝස්තු වනවිට එන්නත් මාත්‍රා මිලියන 500ක් මිලදී ගැනීම සඳහා එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් ඉකුත් දිනෙක පැවැසීය.

ගෝලීය කොවිඩ්-19 එන්නත් මාත්‍රා ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩූක් විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණ සෑම සති දෙකකට වරක්ම යාවත්කාලීන කෙරේ. එම විශ්ලේෂණයට අනුව ඉන්දියාව සමාගම් තුනක් සමඟ මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇති අතර යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමාගම් හයක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. කැන්ඩාව සහ එක්සත් රාජධානිය එන්නත් මාත්‍රා මිලියන 350 බැගින් ලබාගැනීම සඳහා එන්නත් නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් හතක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.

මෙම විශ්ලේෂණයට චීනය සහ රුසියාව ඇතුළත් කර නොමැති නමුත් එම රටවල් දෙකම ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් එන්නත් නිෂ්පාදනය කරමින් සිටියි. ඉන්දියාව ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ‘කොවිඩ්-19’ එන්නතෙන් මාත්‍රා මිලියන 500ක්, ඇමෙරිකාවේ නොවාවැක්ස් සමාගමෙන් එන්නත් මාත්‍රා බිලියනයක් සහ රුසියාවේ ගැමලෙයා පර්යේෂණ ආයතනය නිෂ්පාදනය කරන එන්නතෙන් එන්නත් මාත්‍රා මිලියන 100ක් මිලදී ගැනීම සඳහා මේ වනවිට ඇණවුම් කර ඇත. රුසියාවේ ගැමලෙයා පර්යේෂණ ආයතනය නිෂ්පාදනය කරන එන්නත ස්පුට්නික් 5 යනුවෙන් හැඳින්වේ.

ඊට අමතරව ඉන්දියාවේ පූනේ හිටි පිහිටි සේරම් ඉන්දියා ආයතනය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත නිෂ්පාදනය කිරීමට ගිවිසුම් අත්සන් කර ඇති අතර හයිද්‍රාබාද් හි පිහිටි වෛද්‍ය රෙඩ්ඩීස් විද්‍යාගාර ආයතනය, රුසියාවේ ස්පුට්නික් 5 එන්නත ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

ඉන්දියාව ද මේ වනවිට ඔවුන්ගේම එන්නතක් අත්හදා බලමින් සංවර්ධනය කරන අතර ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ භාරත් බයෝටෙක් සමාගම එක්ව එම එන්නත නිෂ්පාදනය කරයි. එය තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බව ඉකුත් දා (2) නිවේදනය කරයි.

මෙම සෑම එන්නතකින් ම මාත්‍රා දෙකක් ලබා දිය යුතු අතර සමස්ත ජනගහනය හා සැලකීමේදී ඉන්දියාවට එන්නත් මාත්‍රා බිලියන 2.6ක් අවශ්‍ය වේ.

‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඇසුරිනි


RECOMMEND POSTS