දිනකට 1,000 කට එන්නත



එක් මධ්‍යස්ථානයකින් දිනකට පුද්ගලයන් 100 දෙනකුට එන්නත විදීමට හැකිවන පරිදි ඉන්දියානුවන් ට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම සඳහා එරට රජය මේ වනවිට සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව ඉන්දියානුවන්ට එන්නත ලබාදීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාවලියක් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන අතර පුද්ගලයන් 200 දෙනකුට එන්නත ලබාදීමට අවශ්‍ය පහසුකම් අදාළ මධ්‍යස්ථානවලට ලබාදෙන බව ද සඳහන් කර ඇත.

යම් කිසි අවස්ථාවකදී 200 දෙනකු‌ට වැඩි පිරිසකට එක් සැසියකදී  එන්නත් ලබාදීමට සිදු වුවහොත් ඒ සඳහා පස්දෙනකුගෙන් යුත් සම්පූර්ණ කණ්ඩායමක් අවශ්‍ය බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සෑම මධ්‍යස්ථානයකටම කාමර හෝ ප්‍රදේශ තුනක් අවශ්‍ය  බවත් විවේක කාමරයක්, ජනතාවට එන්නත ලබාදෙන කාමරයක් සහ නිරීක්ෂණ කාමරයක් ඊට ඇතුළත් විය යුතු යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ වල දැක්වේ.

මේ සියලු උපදෙස් සහ මාර්ගෝපදේශ ඇතුළත් සම්මත මෙහෙයුම් ක්‍රියාවලිය සහ ඒ සියල්ල ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රාන්ත ආණ්ඩු, සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ පාර්ශව වෙත යවනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණ වැඩසටහන යටතේ මුලින් ම සෞඛ්‍ය සේවකයන් කෝටියකට, සෞඛ්‍ය සේවකයන් ඇතුළු නව කොරෝනා වයිරස මර්දන වැඩසටහනේ ඉදිරි පෙළ සිටින විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන සේවකයන් කෝටි දෙකකට සහ අවුරුදු 50ට වැඩි කෝටි 26ක ජනතාවට එන්නත ලබාදීමට නියමිත ය.

ඊට පසුව විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන අවුරුදු 50ට අඩු කෝටියකට එන්නත ලබාදීමට නියමිත අතර ඒ අනුව ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ මුලින්ම කෝටි 30කට අධික පිරිසකට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමට නියමිත ය.

ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක සභාවට සභිකයන් තෝරා පත්රගැනීමේ ඡන්දයට අදාළ ඡන්ද ලේඛනවලින් අවුරුදු 50ට වැඩි ජනතාව හඳුනාගන්නා බව ද පැවසේ.

ඉන් පසු අනෙක් අයට එන්නත ලබාදෙන බවත් එහිදි වයිරසයේ පැතිරීම සහ එන්නත් මාත්‍රා හා තිබෙන පහසුකම් සැලකිල්ලට ගනිමින් එන්නත ලබාදෙන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එන්නත්කරණ වැඩසටහනේ සියලු තොරතුරු එසැණින් යාවත්කාලීන කිරීම සඳහා ඩිජිටල් යාන්ත්‍රණයක් ද සකසා තිබෙන අතර එය ‘කෝ-වින්’ යනුවෙන් නම් කර තිබේ.

ඉන්දියාව සිය එන්නත්කරණ වැඩසටහන සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබෙන අතර වී.කේ. රාහුල් එහි ප්‍රධානී තනතුර හොබවයි. ඉදිරි මාස හයත්-අටත් අතර කාලයේදී ඉන්දියානු ජනතාවට එන්නත් මාත්‍රා මිලියන 600ක් ලබාදීම සදහා මේ වනවිටත් සැලසුම් යොදා ඇතැයි ද වී.කේ. රාහුල් පැවැසීය.

එන්නත් මාත්‍රා ගබඩා කිරීම සඳහා මේ වනවිටත් ශීතාගාර පහසුකම් ඇතුළු ඊට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි ද හෙතෙම කීය.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS